hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අප්‍රේල් 13, පෙ.ව. 11:35



වංශය කබල් ගාමින් මැතිවරණ දිනීමට මින් ඉදිරියට කිසිම පක්ෂයකට හැකියාවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා.

නිදහස් ජාතික සන්ධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා මෙම අදහස් පළ කළ අතර එම මාධ්‍ය හමුවේදී ඔහු මෙසේද සඳහන් කළා.

වර්තමානයේ පවතින්නේ අන්තර්කාලීන මට්ටමක පවතින ආණ්ඩුවක්. අනුප්‍රාප්තික කාලයක් අපි ගෙවමින් ඉන්නේ. මේ කාලය තුළ තවමත් ආර්ථික ප්‍රශ්නයට විසදුම් ලබා දෙන්න හැකිවෙලා නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පමණක් ගන්න පුළුවන් වෙලා තියෙනවා. දැනටමත් එක් කෙනෙක් දෙන්නෙක් කියනවා රනිල් හොඳයි කියලා. තව කෙනෙක් කියනවා රනිල්  හරි යන්නෙ නැහැ කියලා. ඇතුළෙම පොඩි බෙදීම් පටන් අරගෙන.

මේ රටට ඔය පරණ ආචීර්ණ කල්පිතයන්  හරියන්නෙ නැහැ. අලුත් දේශපාලන, ආර්ථික ප්‍රතිසංස්කරණ පද්ධතියක් අවශ්‍යයි. මේක කරන්නේ නැතිව ගොඩ යන්න බැහැ. වංශ කබල් ගාන පක්ෂවල අයට අපි කියන්නේ ඔය පරණ ක්‍රමය වැඩක් වෙන්නේ නැහැ කියලා. පරණ ක්‍රමවේද එක්ක අලුත් විකට් එකේ සෙල්ලම් කරන්න බැහැ. ආණ්ඩු පක්ෂෙ අය හිතන්නේ මේ රට කියන්නෙත් තමන්ගෙ බැක්‍ යාඩ් එක කියලා. එහෙම එකක් නැහැ මේක රටක්.

පරණ වංශය කබල් ගාලා මැතිවරණ දිනන්න ආයි කාටවත් බැහැ. පොඩි පොඩි දේවල් කරගන්න පුළුවන්. රටක් දිනන්න බැහැ. පොහොට්ටු පක්ෂයට නව නායකයෙක් දැම්මත් අලුත් කෙනෙක් දැම්මත් වැඩක් නැහැ. මම මෙච්චර පරණ පවුලක් කියලා දේශපාලන නායකයෙක් කියලා කිව්වත් දේශපාලන සමාජය වෙනස් වෙන්නේ නැහැ. අරගලයක් වෙලා ගෙවල් ගිනි තිබ්බේ ඔය නායකයෝ ඉන්නකොටම තමයි. තාත්තාගෙන් පුතාට පුතාගෙන් දුවට යන ක්‍රමය ඉදිරියට හරියන්නේ නැහැ.

ප්‍රතිත්‍රස්ත පනතෙ සමහර කරුණු තියෙනවා හොඳ ඒවා. ඒ වුණාට ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ආණ්ඩුවට තිබෙන අභියෝගවලට උත්තරයක් ලෙස ගන්න එක වැරදියි. පසුගිය දවස්වල  අරගලය වගේ එකක් ආයි එයි කියලා හිතලා නීති හදනවා නම් ඒවා මහ විකාර වැඩ. මුළු ලෝකයම ඩිජිටල් අවකාශය තුළ ගැටගැහිලා තියෙන්නේ, මේවා දන්නේ නැතිව  රටේ දේශපාලනය පුළුවන් කියලා කල්පනා කරන පරණ කණ්ඩායමක් ආණ්ඩුවේ ඉන්නේ. මෙයාලා එකතු වෙලා මේ කරන වැඩෙන් වෙන්නේ ලෝකෙ ඉස්සරහ අපේ රට හැල්ලු වෙනවා. ලෝකේ කොහෙද සමාජ මාධ්‍ය ඩිජිටල් අවකාශයේ කළමනාකරණය කරන්න පුළුවන් කියලා තියෙන්නේ.

සමාජ මාධ්‍ය වහලා දැම්මම ඉවරයි කියලා කෙනෙක් කියලා තියෙනවා. එහෙම ඉන්න පුළුවන්ද? මාධ්‍ය සම්බන්ධයෙන් අපේ රටේ නීතිවල විශාල අඩුවක් තියෙනවා. එක එක්කෙනාට අවශ්‍ය ලෙස තමයි ලයිසන් දීලා තියෙන්නේ. වික්‍රමසිංහ මහත්මයා කියන්නේ මේ ප්‍රශ්නයේ කොටසක්. උත්තරයක් නෙමෙයි. රාජපක්ෂ මහත්මයලත් මේ ප්‍රශ්නෙම කොටස්කරුවන්, උත්තර නෙවෙයිනේ. 2025 ඉන් පස්සේ හරි කියලා කියන්නේ මේක නිසා. ණය අරගෙන කන්න ලැබෙන නිසා. එහෙම නැතිව මේක ස්ථාවර  විසඳුමක් නෙවෙයි. තව පාරක් අඹරලා තියලයි යන්නේ. ඊළඟ පාර කැරකිලා ගිහිල්ලා ආයි වැටෙන්නේ පරණ තැනටම.

මේ වැරදි දේශපාලන ක්‍රමවේද ක්‍රියාත්මක කරන වික්‍රමසිංහ මහත්මයගේ ගමන්මඟ ශක්තිමත් කරන්න ඇමැතිධුර ගන්නවා කියන එක මහා විකාරයක්. මහ බැංකු පනතේ හොඳ කරුණු දෙකක් තියෙනවා. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මුදල් මණ්ඩලයේ සාමාජිකයකු නොවන එක ධනාත්මකයි කියලා මම  පෞද්ගලිකව හිතනවා. ජනාධිපතිවරණයක් මාස 13කින් ප්‍රකාශයට පත්කරන්න නියමිතව තියෙන්නේ. මේ මාස 13 ඇතුළත ආණ්ඩු පැත්තෙන් නොයෙක් දේවල් වෙන්න පුළුවන්.”