hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 ජූනි 15, පෙ.ව. 9:52



වැඩිම මනාප ගත් පක්‍ෂයේ දිස්ත්‍රික් නායකයන්ට නොසලකා හරිනවා නම් ආණ්ඩුවෙන් ඉවත් වන බව රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා පවසනවා.

පොදුජන පෙරමුණු දිස්ත්‍රික් නායකයන්ට සලකන ආකාරය අනුව මෙම ආණ්ඩුවේ කෙතරම් කාලයක් සිටිනවා ද නැද්ද යන්න පිළිබඳව තීරණය කරන බවයි රාජ්‍ය ඇමතිවරයා ජාතික පුවත්පතක් වෙත අදහස් පළ කරමින් සඳහන් කර තිබුණේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තම පක්‍ෂයට අසාධාරණකම් කරනවා නම්, තම පක්ෂයට තීරණයක් ගැනීමට සිදුවන බව ද රාජ්‍ය ඇමතිවරයා කියා සිටියා.

විපක්ෂයේ ද පුටු ඕන තරම් තිබෙන බවත් තම පක්ෂ නායකයන්ට රජ ගෙදර සේ ම හිරගෙදරද හුරු පුරුදු බවත් සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා.

පොහොට්ටුවෙන් රනිල්ට පොරොන්දුවක්

මේ අතර ජනාධිපතිවරයා රට සංවර්ධනය කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙලට අඛණ්ඩව සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  එකඟතාව පළකර තිබෙන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.

ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී එම එකඟතාව පළකර ඇති බව වාර්තා වනවා.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සාකච්ඡාවක් ඊයේ (14) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.

එම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, මහලේකම් සාගර කාරියවසම්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අමාත්‍ය ජීවන් තොන්ඩමන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්.අතාවුල්ලා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී තිබුණා.

එහිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ නායකයින් පෙන්වා දී ඇත්තේ, පක්ෂය දැනුවත් වීමකින් තොරව ආණ්ඩුවේ වැඩසටහන් සඳහා සිය සාමාජිකයින් හට ආරාධනා කිරීම නුසුදුසු බවයි.

පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නිල වශයෙන් දැනුම්දීමකින් තොරව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් ඇතුළු නියෝජිතයින් හට විශේෂ රැස්වීමක් සඳහා ජනාධිපතිවරයා ආරාධනා කර තිබුණා.

ජනපතිට යෝජනාවක්

කෙසේවෙතත් එම රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගී නොවු බව වාර්තා වුණා.

අදාළ සිදුවීම පිළිබඳ ඊයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙන බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ අනුව මින් ඉදිරියට ආණ්ඩුවේ යම් වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට කැඳවීමක් සිදුකරන්නේ නම් ප්‍රථමයෙන් පක්ෂය දැනුවත් කිරීමට පියවර ගන්නා බවට එහිදි ජනාධිපතිවරයා සමග එකඟතාවකට පැමිණි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළා.

ඒ අනුව ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙලට අඛණ්ඩව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ඉදිරියටත් ලබාදීමට එකඟතාව පළ වී ඇති අතර සියලු ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින් සෑම මසකට වරක් ජනාධිපතිවරයා සමග රැස්වීමක් පැවැත්වීමට ද එහිදි යෝජනා වු බව සාගර කාරියවසම් මන්ත්‍රීවරයා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: