hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 17, පෙ.ව. 11:11



සර්ව පාක්ෂික ආණ්ඩුවට සහාය දීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් සහ සමගි ජන බලවේගයට සම්බන්ධ හවුල්කාර සුළු පක්ෂ ගණනාවක් නියෝජනය කරන මන්ත්‍රීවරු 16 දෙනෙකු එම තීරණය ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවා.

එම කණ්ඩායම කෑගල්ල, රත්නපුර, නුවරඑළිය යන ප්‍රදේශත්, ජාතික ලැයිස්තුවත් නියෝජනය කරන අය බව සඳහන්.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් ආණ්ඩුවට එක්වන එම පක්ෂයේ කිහිප දෙනකු ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීම සඳහා දැනටමත් එක්සත් ජාතික පක්ෂය තෝරාගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළා.

කෙසේ වෙතත් එළඹෙන සතිය අවසානයේ සර්ව පාක්ෂික ආණ්ඩුවට කැමැත්ත සහ අකමැත්ත පළ කරන පක්ෂවල අවසන් තීන්දුව ගැනීමට රජයේ සැලසුම වී තිබෙනවා.

ඉන් පසුව එන සතියේදී සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවන බවයි වාර්තා වන්නේ.

ඉදිරි සති දෙක තුළ තීරණයක්

කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ සර්ව පාක්‍ෂික වැඩපිළිවෙලක් යටතේ තනතුරු බෙදීයාම සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ අවසන් තීරණයකට එළඹීමට හැකිවනු ඇති බවයි.

සර්ව පාක්‍ෂික වැඩපිළිවෙලකට අදාළව පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධ විස්තරාත්මක වාර්තාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂ අතර එකඟතාවක් ඇති කරගෙන සර්වපාක්‍ෂික වැඩපිළිවෙලක් මේ දිනවල ක්‍රියාත්මක කරගෙන යන බවත් ඒ යටතේ ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡා සඳහා සහභාගී වූ පක්‍ෂ, පුද්ගලයන් ආදිය පිළිබඳ පූර්ණ විස්තරයක් ඉදිරිපත් වූ බවත් ඇමතිවරයා සඳහන් කළා.

ආණ්ඩුකාර තනතුරු ගැටුමක්

දිවයිනේ පළාත් නවය සඳහා ආණ්ඩුකාරවරුන් පත්කිරීම ආණ්ඩුවේ ලොකු ගැටලුවක් වී ඇතැයි වාර්තා වනවා.

ආණ්ඩුකාරවරුන් ලෙස එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කිහිප දෙනකු පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනටමත් තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුකාර ධූරයන් සඳහා වෙනම නම් යෝජනා  කිරීම  හේතුවෙන් මෙම අවුල් සහගත තත්වය ඇතිවී තිබෙන බව එම ආරංචි මාර්ග කියා සිටියා.

නැගෙනහිර පළාත සඳහා ආණ්ඩුකාරවරයා පත් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන්
නොවීමසා කටයුතු නොකරන ලෙස හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා ඇතුළු පළාතේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු  රජයට දැනටමත් දැනුම්දී ඇතැයි වාර්තා වනවා.

නැගෙනහිර පළාත නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8ක්.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය දයා ගමගේ, ජෝන් අමරතුංග, නවීන් දිසානායක සහ වයඹ පළාත් හිටපු විපක්ෂ නායක ශමෙල් සෙනරත් ඇතුළු පිරිසක්ද ආණ්ඩුකාර ධූර සඳහා යෝජනා වී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවෙන් පත් කෙරුණු ආණ්ඩුකාරවරුන් තිදෙනකුට එම ආණ්ඩුකාර ධුරයන් හි ඉදිරියටද කටයුතු කිරීමට අවස්ථාව සලසන ලෙස එම පක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇතැයි වාර්තා වනවා.

ආණ්ඩුකාර ධුරයන්හි තවදුරටත් කටයුතු කිරීමට මෙලෙස අවස්ථාව දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉල්ලා  ඇති පුද්ගලයන් වන්නේ ලලිත් යූ ගමගේ, විලී ගමගේ සහ එම්. ජේ මූසම්මිල් යන මහත්වරුන්ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: