hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 මැයි 23, පෙ.ව. 5:06



අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විෂය භාර අමාත්‍යවරයා ලෙස වැඩ ආරම්භ කළ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතාගේ පළමු කැබිනට් මණ්ඩල යෝජනාවෙන් ආණ්ඩුව දෙදරා යාමේ ලකුණු පහල වී තිබෙනවා.

ඒ අමාත්‍යවරයා වැඩ බාර ගනිමින් සිදු කළ කතාවත් ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා සිදු කර ඇති ප්‍රකාශයක් හේතුවෙන්.

ද්විත්ව පුරවැසියන්ට මැතිසබේ තහනම්

පසුගිය 20 වැනිදා ඇමති ධූරයේ වැඩ බාර ගනිමින් විජයදාස රාජපක්‍ෂ මහතා පැවසූවේ රටේ අනාගත සුබ සිද්ධියට බලපාන තීන්දු තීරණ ගන්නා පාර්ලිමේන්තුවට ද්විත්ව පුරවැසියන් පත්වීම වැළැක්වීම ඇතුළු ඉතා වැදගත් අණපනත් සහිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ වනවිටත් සකස් කර ඇති බවත් එය අද(23) සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ලබාගත් වහාම පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට පියවර ගන්නා බවයි.

මේ වන විට පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් හෝ වෙනත් කුමන ආකාරයකින් හෝ පත්ව ඇති ද්විත්ව පුරවැසියන්ගේ මන්ත්‍රීධුර අහෝසි කිරීම 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ යැයිද ඔහු පෙන්වා දෙනවා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාම ගෙදර යා යුතු බව ඉල්ලමින් තරුණ පිරිස ගාලු මුවදොර පිටියේ අරගල කරනුයේ බලලෝභී තන්හාවෙන් පෙළෙන බොහෝ දේශපාලනඥයන් හා පවුල් දේශපාලනය නිසා රට මෙවැනි අගාධයකට ඇද දැමීම නිසා බවත් තරුණ ප්‍රජාවගේ එකී හඬට කන්නොදී කටයුතු කරන දේශපාලන පක්‍ෂ ද ඊළඟ මැතිවරණයේදී ජනතාව ප්‍රතික්‍ෂේප කරනු ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අරගලයට පහර දුන් අයට දඩුවම්

ගාලු මුවදොර පිටියේ නිහඬ අරගලයක නිරතව සිටි නිරායුධ තරුණ පිරිසට අමානුෂික ලෙස පහරදුන් පුද්ගලයන්ට මෙන්ම මන්ත්‍රීවරයකු ඇතුළු දසදෙනකුට ජීවිත අහිමි කර දේපළ හානි කළ අනෙක් පාර්ශ්වවලට ද තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නේ යැයිද අමාත්‍යවරයා අවධාරණය කළා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසන්නේ යහපාලන රජය යටතේ අසාර්ථක වූ 19 වැනි ව්‍යවස්ථා සං‍ශෝධනයේ අඩංගු කාරණා එලෙසම අභිනවයෙන් ගෙන එන 21 වැනි සංශෝධනයේත් අන්තර්ගත වන්නේ නම් ඒ ගැන වෙනම තීන්දුවක් ගැනීමට සිය පක්ෂයට සිදුවන බවයි.

කෙසේ වෙතත් නව ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ පසු ඒ ගැන වෙනම සාකච්ඡා කර සිය තීරණය රටට දන්වන්නේ යැයි ද ඔහු සඳහන් කළා.

විධායක ජනාධිපති ධූරයේ බලතල අඩුකොට ඒවා පාර්ලිමේන්තුවට පැවරීම සම්බන්ධයෙන් සිය පක්ෂයේ විරෝධයක් නැතැයි පවසන සාගර කාරියවසම් මහතා එසේම වත්මන් රජය රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට ගෙන එන ඕනෑම යහපත් කටයුත්තකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දෙන බවද කියා සිටියා.

කෙසේ වෙතත් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරන පරිදි ද්විත්ව පුරවැසියන් පත්වීම වැළැක්වීම ඇතුළු අණපනත් සහිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු ඊට ප්‍රධානම බලපෑම සිදුවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයෙකුටයි.

එනිසා එම 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විරුද්ධ වුවහොත් යළිත් ආණ්ඩුව දෙදරා යාම වලක්වාලීමට බැරි වනු ඇත.