hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 15, ප.ව. 5:45



කුරුන්දි විහාරය ඇතුළු උතුරු සහ නැගෙනහිර පලාත්හි පවතින පුරාවස්තු අද බේරා ගැනීමට සිදු වී ඇත්තේ බෙදුම්වාදින්ගෙන් හෝ අන්තවාදින්ගෙන් නොව වත්මන් ආණ්ඩුවෙන් බව පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශකර සිටියේ අද (15) පැවති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුව හා එක් වෙමින්.

එහිදී ගම්මන්පිල මහතා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වුවා.

“කුරුන්දි විහාරය ඇතුළු උතුරු සහ නැගෙනහිර පලාත්හි පවතින පුරාවස්තු අද අපට බේරා ගන්න සිදු වී තිබෙන්නේ බෙදුම්වාදින්ගෙන් වත් අන්තවාදින්ගෙන්වත් නොවේ. ආණ්ඩුවෙන්. ඒ නිසා ඉතිහාසය ගැන මෙලෝ හසරක් දන්නේ නැති ඒත් තමන් මහදැනමුත්තා කියලා හිතාගෙන ඉන්න ජනාධිපතිවරයාගෙන් අපේ උරුමය රැක ගන්න අපි පහත දැක්වෙන පියවර ගන්න බලාපොරොත්තු වෙනවා.

පුරාවස්තු විනාශය විමර්ශනයට තේරීම් කාරක සභාවක්

පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ලංකාවේ ඓතිහාසික උරුමයන් සාතිශය තිබෙන්නේ උතුරු සහ නැගෙනහිර පලාත්වල.  සිරිල් මැතිව් ඇමතිතුමා විසින් යුනෙස්කෝ සංවිධානයට යැවූ ආයාචනයේ 1983 වසර වන විට හඳුනා ගෙන තිබුණු උතුරු සහ නැගෙනහිර පලාත්වල පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථාන 276ක් දැක්වෙනවා.  අද වන විට මේ සංඛ්‍යාව තව දුරටත් ඉහළ ගොස් තිබෙනවා.  උතුරු සහ නැගෙනහිර පලාත්වල පුරාවස්තු අද විනාශ වෙන්නේ බෙදුම්වාදින් සහ අන්තවාදින් අතින් විතරක් නොවේ.  ආණ්ඩුවේ නිලධාරින් අකර්මන්‍ය වීමෙන් සහ අධිකරණ වලට බොරු වාර්තා සැපයීමෙන් ඒවාට සහය දක්වා තිබෙනවා.  ඒ නිසා උතුරු සහ නැගෙනහිර පලාත් වල පුරාවස්තු විනාශය පිළිබඳ විමර්ශනය කර වාර්තා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවට අපි ජූනි 19දා ගරු කතානායකතුමාට යෝජනාවක් භාර දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ යෝජනාවට මට අමතරව හිටපු කැබිනට් අමාත්‍යවරුන් වන රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ මහචාර්ය චන්න ජයසුමන මැතිතුමන්ලා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මැතිතුමා අත්සන් කර තිබෙනවා.

දෙමළ සංධානයේ බොරු හෙලි කරන්න පිවිතුරු හෙළ උරුමය කුරුන්දි විහාරයට

දෙමළ සංධානයේ මන්ත්‍රිවරුන් කුරුන්දි විහාරය ගැන ජනාධිපතිතුමාට කිව්වේ පට්ටපල් බොරු. හොයන්නේ බලන්නේ නැතිව දේවභාෂිතය වගේ ජනාධිපති ඒවා විශ්වාස කළා. ඒ වගේම සිය රාජකාරි ඉටු කරන පුරාවිද්‍යා, වනජීවි සහ වන සංරක්ෂණ නිලධාරින්ට මේ බෙදුම්වාදි මන්ත්‍රිවරුන්ගෙන් බාධා එල්ල වන බවට අපට පැමිණිලි ලැබිලා තිබෙනවා. ඒ නිසා දෙමළ සංධානයේ මන්ත්‍රිවරුන්ගේ ප්‍රකාශ බොරු කියලා ඔප්පු කරන්න පිවිතුරු හෙළ උරුමයේ නියෝජිත කණ්ඩායමක් 2023 ජූනි 21 දින කුරුන්දි විහාරයට නිරීක්ෂණ චාරිකාවක් යෑමට තීරණය කලා. ඒ ගමනට බාධා කරන්න දෙමළ සංධානයේ මන්ත්‍රිවරුන්ට බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඌ) වගන්තියෙන් ලංකාව තුල යෑම් ඊම් නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස පිලි අරගෙන තිබෙනවා. අපි කුරුන්දි විහාරයට යන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ඒ මූලික අයිතිවාසිකම භුක්ති විඳින්න. අපි නිහඬ බලා සිටියොත් මේ ජනාධිපතිවරයා රාසමානික්කම් මන්ත්‍රිවරයා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් කරලා සුමන්තිරන් මන්ත්‍රිවරයාව සංස්කෘතික කටයුතු ඇමතිවරයා ලෙස පත් කරන්නත් ඉඩ තිබෙනවා.

ජනපතිගෙන් ලෝක උරුමයන් බේරා දෙන්නැයි යුනෙස්කෝවෙන් ඉල්ලීමක්

වෙන රටවල ජාතික උරුමයන් රැක දෙන්නැයි ජනතාව ඉල්ලා සිටින්නේ ආණ්ඩුවෙන්. නමුත් අපේ රටේ ආණ්ඩුව තමයි ජාතික උරුමයන් විනාශ කරන්න කුමන්ත්‍රණය කරන්නේ. උතුරු සහ නැගෙනහිර පලාත්වල පුරාවස්තු විනාශයන් වැඩියෙන්ම සිදු වුණේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුර දැරූ 2001-2004 සහ 2015-2019 කාල වකවානු තුල දී. ඒ අනුව එතුමා නායකත්වය දරන ආණ්ඩුවකට පුරාවස්තු රකින්නට බාරදීම නරියට කුකුල්ළු බාරදුන්නා හා සමානයි කියලයි අපි දකින්නේ. ඒ නිසා අපේම ආණ්ඩුවෙන් ලෝක උරුමයන් වන පුරාවස්තු බේරා දෙන්නැයි ලෝක උරුමයන් රැක ගැනීමට කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානය වන යුනෙස්කෝ සංවිධානයෙන් ලිඛිතව ඉල්ලා සිටීමටත් ඒ ගැන සාකච්ඡා කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.” යැයි මන්ත්‍රීවරයා සඳහන් කළා.