hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 01, පෙ.ව. 11:25



පහුගිය මාස දොලහත් ඊට පෙර මාස දොලහට සාපේක්ෂව බැලුවොත් මෙරටට විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබීමට තිබූ ඩොලර් මිලියන තුන්දහසක් නොලැබී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

විදේශ ශ්‍රමිකයින් මෙරටට මුදල් එවන්නේ නැති වීමට හේතුව ඔවුන් ආණ්ඩුවත් එක්ක තරහා වී ඇති නිසා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“අපිට මාස්පතා ඩොලර් ආපු ක්‍රමයක් තිබුණා. ඒ තමයි විදෙස් ශ්‍රමිකයින්ගේ මුදල්. එය ස්ථාවරව අපේ රටට ඩොලර් ආපු ක්‍රමයක්. එය මාසිකව ඩොලර් මිලියන හයසියය හත්සියය වගේ ප්‍රමාණයක්. නියගය ගංවතුර කියලා එකක් තිබුනත් ඒ ආපු ඩොලර් වල වෙනසක් වුණේ නැහැ. නමුත් ඒ එවමින් සිටි මුදල් එවන එක ඔවුන් සීමා කලා. රටේ පාලකයින් අපේ මුදල් හොරාකනවා කියන සිතුවිල්ල ඇතිවූ නිසයි එම ශ්‍රමිකයින් එහෙම කලේ.” යැයි ඒ මහතා ඊයේ (31) සවස බදුල්ල රිවර් සයිඩ් හෝටලයේදී පැවති අර්බුධයට විසදුම කුමක්ද යන දේශපාලන කතිකාවතට එක් වෙමින් සඳහන් කළා.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා මෙසේද පැවසුවා.

“2021 ජනවාරි මාසයේදී අපේ රටට විදෙස් ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 675ක් ලැබී තිබුණා. නමුත් 2022 ජනවාරි මාසයේදී ලැබී තිබුණේ ඩොලර් මිලියන 250යි. පහුගිය මාස දොලහක් ඊට පෙර මාස දොලහට සාපේක්ෂව බැලුවොත් අපිට විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන්න තිබුණු ඩොලර් මිලියන තුන්දහසක් ලැබී නැහැ. ඇයි අපිට මේ මුදල් මොවුන් එවන්නේ නැත්තේ. විදෙස්ගත ශ්‍රමිකයින් ඉන්නේ මේ ආණ්ඩුවත් එක්ක තරහා වෙලයි. ඒ නිසා ඔවුන් මුදල් එවන්නේ නැහැ.”

ඇයි එයාලා මේ ආණ්ඩුවත් එක්ක තරහා. ඔබ දන්නවා ඇති කොරෝනා කාලෙදි එයාලට ‍අපේ රටට එන්න දුන්නේ නැහැ. ඔවුන් රැකියා අහිමිකරගෙන පාරට වැටිලා ඉද්දිත් ඔවුන්ව රටට ගෙන්වා ගත්තේ නැහැ. ඔවුන් පුදුම විදිහට දුක් වින්දා. ඔවුන්ම අතින් ටිකට් එක අරන් මේ රටට ඇවිත් ඡන්දෙ දීලා පත් කරගත්තු ආණ්ඩුව තමන්ට ඒ විදිහට කරපු දේට තරහයි. ඒ නිසයි ඔවුන් කියන්නේ මේ ජනාධිපති ඉන්නකන් නැවත ඩොලර් එවන්නේ නැහැ කියන එක.

ඊට පස්සේ අපිත් කෑ ගහලා කියලා කොහොම හරි ඒ විදෙස් ශ්‍රමිකයින් අපි රටට ගෙන්වා ගත්තා. ඊට පස්සේ එයාලා රටට ආවට පස්සේ මොකද කලේ. අනිවාර්යයෙන්ම දින 14ක් නිරෝධායනය විය යුතුයි කියලා හෝටල් වල රදවලා එයාලගේ මුදල් සේරම මංකොල්ල කෑවා. ඒ නිසා ඒ අය මේ ආණ්ඩුවත් එක්ක තිබුණු තරහා තවත් වැඩි වුණා. ඒ නිසයි එයාලා අපේ රටට ඩොලර් එවන්නේ නැත්තේ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවා.

බදුල්ල – ජයලත් දිසානායක





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: