hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 09, පෙ.ව. 9:44



රටේ න්‍යාය පත්‍රය එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍රය යැයි එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නවීන් දිසානායක පැවැසුවා.

අගමැති ධුරයට මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම අසත්‍ය ප්‍රචාරයක් යැයිද එවැන්නක් එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම පොදු ජන පෙරමුණේද න්‍යාය පත්‍රවල නැතැයිද දිසානායක මහතා සඳහන් කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින බලතල අනුව ජනාධිපතිවරයාට නව ආණ්ඩුකාරවරුන් පත්කිරීමට සිදුවනු ඇතැයි ද එහිදී එක්සත් ජාතික පක්ෂයට විශාල සේවයක් කළ ජේ‍යෂ්ඨයන්ට අවස්ථාවක් ලැබෙනු ඇතැයි ද එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නවීන් දිසානායක පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ (08) පැවැසුවා.

එහිදී තම දේශපාලන බල ප්‍රදේශයෙන් පිටස්තර ප්‍රදේශයක ආණ්ඩුකාර ධුරයකට පත්කිරීම සාමාන්‍ය ක්‍රමවේදය යැයිද එහි සාධාරණභාවයක් ඇතැයි ද දිසානායක මහතා සඳහන් කළා.

මහින්ද රාජපක්ෂ මහතා නැවත අගමැති ධුරයට පත්කරන බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නැතැයි කී හෙතෙම එවැන්නක් එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යාය පත්‍රයේත් නැතැයි අවධාරණය කළා.

රටේ න්‍යාය පත්‍රය වන්නේ එක්සත් ජාතික පක්ෂ න්‍යාය පත්‍රය යැයි දිසානායක මහතා පැවැසුවා.

ආහාර උද්ධමනය 43% සිට 32% දක්වා අඩු වී ඇති නමුත් එහි ප්‍රතිලාභ ජනතාවට නිසියාකාරව නොලැබීම ප්‍රශ්නයක් යැයි ද පාරිභෝගික අධිකාරියේ දුර්වලභාවය ඊට හේතු වී ඇතැයි ද ඔහු සඳහන් කළා.

පාරිභෝගික අධිකාරියේ වැටලීම් ගැන ජනතාවට පැහැදීමක් නැතැයි කී හෙතෙම ආර්ථිකයේ වෙළෙඳ මාෆියා පරාජය කිරීමට නම් අධිකාරිය මීට වඩා ඉදිරියට ගොස් ක්‍රියා කළ යුතුව ඇතැයි පැවැසුවා.

පෝලිම් යුගය අවසන් කර රට යම්කිසි යහපත් තත්ත්වයකට පැමිණ ඇතැයිද ජනාධිපතිවරයා ඊට අවශ්‍ය පදනම දැමීම ඊට හේතු වී යැයි ද ඔහු කියා සිටියා.

පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක හමුවේදී රට ගොඩනැඟීම සඳහා අලුත් සබඳතා රැසක් නිර්මාණය වී යැයි ද තෙල් අර්බුදයට විසදුම් සෙවීමේදී එම සාකච්ඡා ඉවහල් වනු ඇතැයි ද දිසානායක මහතා සඳහන් කළා.

ජනාධිපතිවරණයක් ගැන තවම කතාවක් නැතත් ජනාධිපති අපේක්ෂකයන් රැසක් දැනටම බිහි වී ඇතැයිද එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙසින් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරනු ඇතැයි ද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.