hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 01, පෙ.ව. 10:09



ඉදිරි දිනවලදී දේශපාලන පෙරළි කිහිපයක් සිදු වනු ඇති බවට වාර්තා වනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙදරායාමක් පිළිබඳව වාර්තා වන අතර එය පළමුවෙන්ම ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ කණ්ඩායම වෙන්ව කටයුතු කිරීමට නියමිතය.

පොහොට්ටුවේ තවත් පිරිසක් ඉදිරියේදී එජාපය සමඟ එක්ව කටයුතු කිරීමට සාකච්ඡා කර ඇතැයි වාර්තා වනව.

මේ අතර දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් සමග එක්ව නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම, විමල් වීරවංශ මහතා ඇතුළු හවුල් පක්ෂ කණ්ඩායම සමඟත්, අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නායකත්වයෙන් යුත් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සමග සහ චම්පික රණවක මහතා සමගත් සාකච්ඡා කරමින් සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

පවුල්වාදය, විප්ලවවාදය යන අන්ත දෙකෙන් මිදී ප්‍රතිසංස්කරණවාදී දේශපාලන ව්‍යාපාරයක් බිහි කිරීම සඳහා මෙම පිරිස සැලසුම් කරමින් සිටින බව ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායමේ ආරාංචි මාර්ග පැවසුවා.

පාර්ලිමේන්තුවේ පක්ෂ සමග එකගතාවක් ඇති කර ගැනීම, දිස්ත්‍රික්ක හා ආසන මට්ටමින් මැතිවරණ ජාලයක් ගොඩනැගීම, ජාත්‍යන්තර හා දේශීය දේශපාලන සංවිධාන සමඟ සම්බන්ධතාවක් ගොඩනැගීම, ප්‍රතිසංස්කරණයක් මත පදනම් වූ දේශපාලන වැඩපිළිවෙළක නිරත වීම යන අරමුණු මුල්කරගෙන මෙම නව දේශපාලන සන්ධානයගොඩ නැගීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

මේ අතර ආණ්ඩුව සමග එක්ව සිටින මැති ඇමතිවරුන් රැසක් ඉදිරි කාලයේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වීමේ සූදානමක් පවතින බව එම ආරංචි මාර්ග පැවසුවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂවලින් ආණ්ඩුවට එක්වන මන්ත්‍රීවරුන් මෙන්ම, පසුගිය කාලයේ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ කිහිප දෙනකු ද මෙසේ එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම පිරිසට දැනට කැබිනට් මණ්ඩලය නියෝජනය කරන කිහිප දෙනෙකුද ඇතුළත් වනු ඇති බව සඳහන්.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය තුළ ඇතිව තිබෙන පිබිදීමත්, අනෙකුත් පක්ෂ නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරුන් එම පක්ෂය සමග ඇතිකරගෙන තිබෙන මත ගැටුම් ආදියත් හේතුවෙන් ඔවුන් මෙසේ එජාපයට එක් වෙනු ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව, ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක් එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට තරග කරනු ඇතැයි දැනගන්නට තිබෙනවා.

කෙසේ වෙතත් ඉදිරියේදී දේශපාලන පෙරළි රැසක් සිදු වනු ඇති බවටයි වාර්තා වන්නේ.