hit counter

2024 මැයි මස 11 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 13, ප.ව. 1:27



අනාගතයේ සිංහල ජනතාවගේ කැමැත්ත ඇතිව ෆෙඩරල් පාලනයක් ලබාගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව තමිල් මක්කල් කුට්ටනි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි සී.වී. විග්නේස්වරන් මහතා සඳහන් කර තිබෙනවා.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එදා විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට එය පිළිගන්නා බව ප්‍රකාශ කර ඇති අතර අරගලයට සම්බන්ධ වූ උගත් තරුණ පිරිස පවා ෆෙඩරල් ක්‍රමයකට විරුද්ධ නොමැති හෙයින් ෆෙඩරල් පාලනයක් ලබාගැනීමට හැකිවනු ඇතැයි ඔහු පෙන්වා දෙනවා.

එක්සත් භාවයෙන් තම තමන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීමට හොඳම ක්‍රමය ෆෙඩරල් ක්‍රමය වන අතර මේ වන විට මෙරට තරුණ පිරිසගේ ආකල්ප වෙනස් වී තිබෙන බවයි විග්නේස්වරන් මහතා ප්‍රකාශ කරන්නේ.

වර්තමානයේ පවතින්නේ බලය සම්පූර්ණයෙන්ම සිංහල දේශපාලකයන් අත තබාගැනීමේ ක්‍රියාවලියක් වන අතර සුළු ජාතීන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට ඔවුන් මැළි බවක් දක්වනවා. දෙමළ ජනතාව ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටින්නේ එක්සත් රාජ්‍යයක් තුළ බලය බෙදාගැනීමට හා තම පළාතේ සංවර්ධන කටයුතු තමන්ට කර ගැනීමේ අපේක්ෂාවෙන් බව හෙතෙම කියා සිටියා. 

ෆෙඩරල් ක්‍රමයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය යුතු අතර ඒ සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතු යැයි පැවසූ විග්නේස්වරන් මහතා රටේ පවතින ආර්ථික දේශපාලනික වාතාවරණය යටතේ අනාගතය කෙබඳු මුහුණුවරක් ගනීද යන්න පිළිබඳව විමසා බලා ෆෙඩරල් ක්‍රමයක් ලබාගැනීම සඳහා කටයුතු කළ යුතු යැයි පැවසුවා.

ඉඩම් සහ පොලිස් බලතල දෙමළ ජනතාව ඉල්ලා සිටි දෙයක් නොවන අතර එය 13 වැනි ව්‍යස්ථා සංශෝධනයට ඇතුළත් කර තිබෙන්නක් බවද, පැවැති ආණ්ඩු එය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සලසා නුදුන් බවද ඔහු කියා සිටියා.

ෆෙඩරල් ක්‍රමයක් සඳහා අනාගතයේ ඉන්දියාවේ සහය හිමිවනු ඇතැයි විශ්වාස කරන බවද විග්නේස්වරන් මහතා වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: