hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 10, පෙ.ව. 10:22



ඉන්ධන ගැටලුවේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ඛනිජ තෙල් අමාත්‍යවරයා කිසියම් කරුණක් සඟවා ගෙන කටයුතු කරන බව ඔවුන්ගේ හැසිරීමෙන් පෙනෙන්නට තිබෙන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවා.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා.

ඉන්ධන ලීටරයක් රුපියල් 250ට ලබා දිය හැකි බවට මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කරන නමුත් එසේ ලබා දීමට හැකියාවක් තිබේ ද? නැද්ද? යන්න පිළිබඳව සොයා බැලීමට පවා ඇමතිවරයා කටයුතු නොකිරීම ගැටලුවක් බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කියන කතාවේ ඇත්තක් තිබේ ද? නැද්ද? යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විගණනයක් කළ යුතු වුව ත් ඒ පිළිබඳවවත් අවධානයක් යොමු නොකරන්නේ මෙම සඟවාගත් කරුණ නිසා බව ද ඔහු පැවසුවා.

රුසියාවෙන් අඩු මිලට තෙල් මිලදී ගැනීමට අවස්ථාව තිබියදී ඒ සඳහා උනන්දුවක් නොදක්වන්නේ අමෙරිකාව ඇතුළු බටහිර රටවල්වල බලපෑම නිසා බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා.