hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූලි 26, පෙ.ව. 2:00



පෙරේදා (25) දහවල් කාන්තාවකගෙන් දුරකතන ඇමතුමක් ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

එම දුරකතන ඇමතුමෙන් එම කාන්තාව දන්වා සිටියේ අද (26) සවස 03.00ට මුදල් අමාත්‍යාංශයේ නව ශ්‍රවණාගාරයේ පැවැත්වෙන ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම සඳහා තමන්ට ආරාධනා කිරීම බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

අදාළ සාකච්ඡාව ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව එම කාන්තාව පැවසූ බවත් කෙසේ වෙතත තමන් එම සාකච්ඡාවට සහභාගී නොවන බව ප්‍රකාශ කළ බවත් ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියා.

තමන් ඇතුළු ස්වාධීන කණ්ඩායම මේ වන විටත් විපක්ෂයේ කටයුතු කරන බැවින් ඒ සාකච්ඡා සඳහා සහභාගී වීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව ඔහු වැඩි වැඩිදුරටත් කියා සිටියා.

මේ වනවිට එම රැස්වීමට මන්ත්‍රී වරුන් 158කට ආරාධනා කර ඇති බවත් ඒ අය කෙසේ සොයා ගත්තා දැයි තමන් නොදන්නා බවත් ආණ්ඩුවේ මේ වෑයම රනිල්ට සහාය දුන් පිරිස් විපක්ෂයේ රැඳී සිටින්නේ දැයි සෙවීම බවත් මන්ත්‍රී වාසුදේව වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම ආණ්ඩුවේ ඇති සෙසු තනතුරු සඳහා විවිධ කණ්ඩායම් වෙත ආරාධනා කෙරුණ ද තම කණ්ඩායම වෙත මෙතෙක් ඇරයුම් ලැබී නැති බවත් ලැබුණත් එය පිළිනොගන්නා බවත් මන්ත්‍රීවරයා පැවසුවා.

දේශපාලනය තුළ සාධාරණත්වයෙන් ගමනක් යාමට වත්මන් රජය සමග නොහැකි අතර ඉදිරියේ දී මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ සහ තමන් ඇතුළු පිරිස එක්ව පුළුල් සන්ධානයක් ගොඩනැගීමට බලාපොරොත්තුවක් ඇති බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.