hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 30, ප.ව. 12:14



සුළු වැරදි සඳහා බන්ධනාගාර ගතවන සිරකරුවන් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හෝ අපරාධකරුවෙකු ලෙස බන්ධනාගාරයෙන් නැවත සමාජගත වන අවස්ථාවන්ද පවතින බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවා.

‘’ ශිල්ප 2022 සිර සර ˮ බන්ධනාගාරගත රැඳවියන්ගේ නිර්මාණාත්මක කුසලතා කලඑළි දැක්වීමේ කර්මාන්ත හා අලෙවි ප්‍රදර්ශණය විවෘත කිරීම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍ය ජනාධිපති නීතීඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

බන්ධනාගාරගත රැදවියන් උසස් වටිනා නිර්මාණ ඉදිරිපත් කර තිබීම සතුටුදායක කරුණක් බවත්, එම තත්වය තවදුරටත් වැඩි දියුණු කරමින් උසස් බන්ධනාගාර පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව පුර්ණ වෙසකට භාජනය කළ යුතුව ඇති බවත්, ඒ සදහා 1934 වසරින් පසුව ප්‍රථම වරට බන්ධනාගාර රෙගුලාසි වර්තමානයට ගැළපෙන පරිදි සම්මත කර ඇති බවත්, සිරකරුවෝද මනුෂ්‍යයෝය යනුවෙන් ප්‍රකාශ කළ පමණින් ඵලක් නොමැති බැවින් ඒ අය දෙස මානුෂිකව සලකා බලා කටයුතු කළ යුතු බවත්, අධිකරණ අමාත්‍යතුමා පැවසුවා.

සිරකරුවන් බන්ධනාගාරගත වන වරද හෝ දඩුවම කුමක් වුවත් බන්ධනාගාර නිලධාරීන් සිදු කළ යුතු වන්නේ රැදවියන්ගේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම වන අතර, ඇතැම් අවස්ථාවන්වලදී සුළු අතපසුවීම් සිදු වුව ද වර්තමානය වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව හැකි උපරිම ආකාරයෙන් සිරකරු අයිතීන් සුරක්ෂිත වන පරිදි කටයුතු කරන බව ද අමාත්‍යතුමා සදහන් කළා.

අද වන විට බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ගෙන් සීයයට 85 ක්ම මත් ද්‍රව්‍ය සම්බන්ධ රැදවියන් වන අතර එම සංඛ්‍යාවෙන් සීයයට 95 ක්ම මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් බවත්, ශ්‍රී ලංකාව තුළ මත් ද්‍රව්‍ය භාවිතය පාලනය කිරීම සදහා මත් ද්‍රව්‍ය මහා පරිමාණ ලෙස ගෙන්වන පුද්ගලයින් හා බෙදා හරින්නන් මර්දනය කළ යුතු බවත්, මෙරට තුළ මත් ද්‍රව්‍ය මේ තරම් දුරට ව්‍යාප්තවීම සදහා ඇතැම් දේශපාලඥයින්ගේ මෙන්ම ඇතැම් උසස් පොලිස් නිලධාරීන්ගේ සහාය හිමිවී ඇති බවත්, අමාත්‍යතුමා පැවසුවා.

මේ වන විට වරදකරුවන් බවට පත්ව බන්ධනාගාරගතව සිටින රැදවියන් පිළිබදව තොරතුරු එක් රැස් කිරීම සදහා කමිටු කිහිපයක් පත් කර ඇති අතර ඔවුන් අතර සිටින රෝගාබාධවලට ලක් වුවන්, වයස් ගත වුවන් හා වෙනත් ආබාධවලින් පෙලෙන රැදවියන් හදුනා ගෙන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරනු ලබන විශේෂඥ කමිටු නිර්දේශ මත එළඹෙන නිදහස් දිනය වන විට විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සදහා කටයුතු කරන බව ද අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළා.

මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව පුනරුත්ථාපන පනත යටතේ මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිව සිටින අයට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනයවීමේ අවස්ථාව ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති අතර, සුළු වැරදි සදහා බන්ධනාගාරගත වන සිරකරුවන් මහා පරිමාණ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හෝ අපරාධකරුවෙකු ලෙස බන්ධනාගාරයෙන් නැවත සමාජ ගත වන අවස්ථාවන් ද පවතින බැවින් ඒ පිළිබදව අවධානය යොමු කළ යුතුව ඇති බවත්, අධිකරණ අමාත්‍යතුමා වැඩිදුරටත් සදහන් කළා.