hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 22, පෙ.ව. 11:24



රට අසීරු තත්ත්වයකට පත්වෙමින් තිබෙන බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය ලබා ගන්නා ලෙස 2021 වසරේ සිටම හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් බොහෝ පිරිසක් ඉල්ලා සිටියත් ඔහු තනි මතයට හිතුවක්කාරි තීරණ ගෙන මූල්‍ය අරමුදල හමුවට නොගිය බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ අවධාරණය කරනවා.

මේ අත්තනෝමතික තීරණ අවසානයේ අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගියේ විශ්වාසය හොඳටම බිඳවැටී තිබෙන අවස්ථාවක බවද රට වැටී තිබෙන අසීරු තත්ත්වය හමුවේ අජිත් නිවාඩ් කබ්රාල්ගේ ඇතැම් හිතුවක්කාරී තීරණ එම තත්ත්වයට ඍජුවම වගකිව යුතු බවද ඔහු සඳහන් කළා.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

මැතිවරණය කල් දැමීමේ අවශ්‍යතාවක් රජයට තිබුණේ නම් මැතිවරණ කොමිෂන් සභාවේ ඉවත් වූ සාමාජිකයන් වෙනුවට නව සාමාජිකයන් පත් නොකර  කොමිසම අකර්මණ්‍ය කිරීමට තිබූ නමුත් එසේ නොකර සුදුසු අය කොමිෂන් සභාවට පත් කළේ යැයිද හෙතෙම පැවැසුවා.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට ඉවත්වීම සඳහා වන බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන බවත් කොමසාරිස්වරු ක්‍රියාත්මක කරමින් සිටින්නේ ව්‍යවස්ථාමය අයිතියක් බවත් හෙතෙම සඳහන් කළා.

මැතිවරණ කලට වේලාවට තැබිය යුතුය යන මතයේ තමන්ද සිටින බවත් මේ මොහොතේ රට පත්ව තිබෙන තත්ත්වය සැලකීමේදී මුදල් අමාත්‍යාංශයට මැතිවරණය වෙනුවෙන් වැයවන මුදල දැරීමට නොහැකිවී තිබෙන බවත් ඒ මහතා කියා සිටියා.

ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමෙන් පසු මැතිවරණයක් පැවැත්වීම සුදුසු බව බහුතර මතය බවද පවතින ආර්ථික පීඩනය හමුවේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න තවත් පිරිසක් ප්‍රශ්න කරන බවද කී ඒ මහතා අධිකරණය මඟින් ලබාදෙන නියෝගයට අනුව ක්‍රියා කිරීමට රජය සූදානම් යැයිද අවධාරණය කළා.

කඩා වැටුණු ආර්ථිකය ඉතා අසීරුවෙන් ගොඩගනිමින් තිබෙන බවත් මේ අවස්ථාවේ යළි ආර්ථිකය කඩා වැටුණහොත් ජනතාව මෙයට වඩා දැඩි පීඩනයකට ලක්වනු ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළා.

ඇතැම් අය පවසන පරිදි මැතිවරණය කල් දැමීමේ කිසිදු වුවමනාවක් රජයට නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.