hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූලි 14, පෙ.ව. 2:05



ඖෂධ හිඟයක් ඇති වීමට ඉඩහැර, පසුව නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව, අතයට ගනුදෙනු සහිත හදිසි මිලදී ගැනීම් මගින් බාල ඖෂධ ගෙන්වා අසරණ රෝගීන් මෝචරියට යැවීමට වගකිවයුතු සෞඛ්‍ය අමාත්‍යවරයා වහාම ඉල්ලා අස්විය යුතු යැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරනවා.

උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා මෙසේ අවධාරණය කළේ ඊයේ (13) බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළා.

“මේ විදියට බඩේ අමාරුවකට ඉස්පිරිතාලෙකට ගියපු රෝගී දරුවකු ලබා දුන් එන්නතකින් මියයනවා නම්, බෙහෙත් ගෙන්වූ සහ මිලදී ගැනීම් සිදු කළ කිසිවකු ඒකට වගනොකියනවා නම්, සෞඛ්‍ය ඇමතිවරයාත් ‘බබා’ වගේ ඉන්නවා නම්, මේ රට රටක්ද? පඬු කරඳ ගහ කපන්න නම් කැබිනට් තීරණ ගන්නවා. නමුත් මේ වගේ කාලකන්නි ඇමැතිවරුන් සහ නිලධාරින් කපා දමන්න කැබිනට් තීරණ ගන්නේ කවදාද?

මේ තත්ත්වය වෙනස් කරන්න ඕනේ. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළව හදිසි මිලදී ගැනීම් අවලංගු කරන්න ඕනේ. කල්තියා සැලසුම් කර ඖෂධ රැගෙන එන්න ඕනේ. අතිරික්තයක් තිබුණොත් ඊළඟ වසරේ පාවිච්චි කරන්න හැකි වෙන්න ඕනේ. එහෙම නැතුව ඇමතිවරුන්ට සහ නිලධාරීන්ට ගසාකන්න ඉඩ දීලා, මෙවැනි තරුණ දරුවන්ට මියයන්න ඉඩ දීලා, තවදුරටත් බලා සිටිය යුතු නැහැ. මේ පාපකර්මයට තවදුරටත් වැඩෙන්න ඉඩ දිය යුතු නැහැ.

මේ තත්ත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ඉල්ලා අස්විය යුතුයි. නමුත් ඒ කිසිවකු ඉල්ලා අස්වෙන්නේ නැහැ. ඔවුන්ට මේ ගැන කිසිදු හැඟීමක් නැහැ. ඒ නිසයි අපි කියන්නේ මේක හරි අවාසනාවන්ත තත්ත්වයක් කියා. ආර්ථික අර්බුදයකින් බැට කන රටක, තුන්වේල කාපු ජනතාව දෙවේලකට බැහැලා ඇති රටක, ඒ අසරණ ජනතාව ලෙඩක් දුකක් හැදුණාම රෝහලකට ගියාම අද උරුම වන්නේ මරණය නම්, තවදුරටත් ඒ දෙස උපේක්ෂාසහගතව බලා සිටීම යුක්තිසහගත ද? ‘මේ කාලකන්නි තත්ත්වය වෙනස් කිරීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගනිමු. ඒ සඳහා පෙරට එන්න. ඊට නායකත්වය දීමට අපි සූදානම්.’ කියා උත්තර ලංකා සභාගය ලෙස අපි ජනතාවට කියනවා.”