hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 මැයි 13, ප.ව. 5:38



රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පෙරවරුවේ අගමැති ධූරයේ වැඩ භාර ගනු ලැබුවා.

ආණ්ඩුව පිහිටුවීමට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීමේ ගැටලුවකට මුහුණ පා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ සඳහා මේ වන විටත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට සහය දක්වනවා ද නැද්ද යන්න ඇතැම් දේශපාලන පක්ෂ සහ මන්ත්‍රීවරුන් විවිධ ප්‍රකාශ සිදු කර තිබෙනවා.

ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවෙකු වූව සිට පසුව පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ විමල් විරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර සහ මෛත්‍රීපාල සිරිසේන ඇතුළු නායකයින් සිය පක්ෂවල මතය මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ස්වාධීන පාර්ලිමේන්තු සංසදය අද දින මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමත්‍යවරයාට සහය නොදක්වන බවයි.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“ඒ පිහිටුවාගනු ලබන පාලනය කඩාකප්පල් කරන්න හෝ ඒ පාලනය හොඳ දෙයක් කරනවා නම් ඒකට සහයෝගය නොදී ඉන්න හෝ වෛරී දේශපාලනයක් කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා පක්ෂ 10 එකමුතුවට අයත් මන්ත්‍රීවරු සියලු දෙනාම විරුද්ධ පක්ෂයේ සිටිමින් ආණ්ඩුවේ යහපත් පියවරවලට සහයෝගය දෙනවා. හැබැයි අපි රට අරාජික කරන්න ඉඩ තියන්නේ නැහැ.”

ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද වෙනම මාධ්‍ය හමුවක් කැඳවමින් නව අග්‍රාමාත්‍යවරයාට සහදය දක්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා.

එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ කිසිදු අමාත්‍ය ධූරයක් භාර නොගැනීමට සහ ආණ්ඩුවක කොටස්කරුවෙකු නොවීමට සිය පක්ෂය තීරණය කළ බවයි.

ඒ අනුව පොදුවේ ස්වාධීන කාණ්ඩායම අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදක්වන බව මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා.

මිට අමතරව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදක්වන බව මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා.