hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූනි 28, පෙ.ව. 9:39



ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට චෝදනාවක් එල්ල කළා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, කංචන විජේසේකර අමාත්‍යවරයා ඛනිජතෙල් සංස්ථාවට අයත් පිරවුම්හල් විදේශීය සමාගම් වෙත ලබාදීමට කර ඇති යෝජනාව තුලින් මෙරට බලශක්ති ක්ෂත්‍රයට බලපෑමක් එල්ල විය හැකි බවයි.

රට තුළ ඇති අර්බුදය භාවිතා කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආතයනවලට අත තැබීමට පාලකයන් කටයුතු කරමින් සිටින බව වීරවංශ මහතා පැවසුවා.

රට තුළ ඇතිවූ අර්බුදකාරී තත්වය පුනරුදයක් කරා ගෙනයනවා වෙනුවට ඉතිරි වූ දේත් අහිමි කර අර්බුදයෙන් අර්බුදයට ගෙනයාමට ඔවුන් කටයුතු කරමින් සිටින බව කී වීරවංශ මහතා පවතින කසිකබල් පාලනය වෙනුවට සර්ව පාක්ෂික පාලනයක් පිහිටුවා දැන්වත් මෙම තත්වය වෙනස් කළ යුතු බවද සඳහන් කළා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු පිරවුම්හල් ඛනිජ තෙල් නිපදවන රටවල සමාගම්වලට ලබාදීමට සිදුවන බවට විෂය භාර අමාත්‍ය කාංචන විජේසේකර මහතා කළ ප්‍රකාශයේ අදහස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වසා දැමිය යුතු බවදැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා අමාත්‍යවරයාට අනුව විදේශීය සමාගම්වල ආධිපත්‍යය අහිමි කිරීමේ අරමුණින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පිහිටවූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය කර ඇත්තේ වරදක් බව ද පැවසුවා.

අර්බුදයට හේතුව ඛනිජ තෙල් බෙදාහැරීමේ වගකීම රජයේ සමාගමක් සතුව පැවතීම නම් ඉන්දියන් තෙල් සමාගමෙ සතු පිරවුම්හල්වල හෝ ඉන්ධන තිබිය යුතු බව කී වීරවංශ මහතා වෙනත් රටක සමාගමක් පැමිණියත් තමන්ගේ රටේ ඩොලර් වියදම් කර තෙල් ලබාදෙනු ඇතැයි සිතිය නොහැකි බව සඳහන් කළා.

වෙන අවස්ථාවක මෙවන් ප්‍රකාශයක් කළේ නම් තෙල් සංස්ථාවේ සේවකයන් පාරට බසින බව කී මන්ත්‍රීවරයා සාමාන්‍ය තත්වයකදී අත තැබිය නොහැකි තැන්වලට අත තැබීම සඳහා පාලකයන් ආපදාව භාවිතා කරමින් සිටින බව පවසා සිටියා.