hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 16, ප.ව. 4:46



චීනයේ යුආන් වැංග් 5 සන්නිවේදන තාක්ෂණ නෞකාවට අවසර දුන් පරිදිම හම්බන්තොට වරායට පැමිණීමට ශ්‍රී ලංකා රජය අවකාශය ලබා දිය යුතුයි යන මතයේ තමන් ඇතුළු ස්වාධීන පක්ෂ එකමුතුව දිගින් දිගටම සිටි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළා.

අද 16) හම්බන්තොට වරායට සේන්දු වූ චීනයේ යුආන් වැංග් 5 සන්නිවේදන තාක්ෂණ නෞකාව පිළිගැනීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සව සභාව අමතමින් ඒ මහතා මෙසේ සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද පැවසුවා,

“අතීතයේ අප මේ පය ගසා සිටින පොළොව සිංහලේ, සිලෝන් ආදී නම්වලින් හඳුන්වා තිබුණත් අද එය හඳුන්වන්නේ ශ්‍රී ලංකාව යනුවෙනුයි. මේ පොළොව ශ්‍රී ලංකාව වූවාට ඒහා බැඳුණු අහස සහ මහමුහුද තමයි අප ලෝකයත් සමග සම්බන්ධ කරන්නේ. අපට අයිති මේ පොළවේ ස්වෛරීභාවයේ සීමාව ඇතුළෙ, මේ අහසේ හා මහ මුහුදේ අපට අයිති ප්‍රමාණයන් තිබෙනවා. රාජ්‍යයක් ලෙස අපි ඒ ප්‍රමාණය පිළිබඳ වගකීම දරනවා.

විශේෂයෙන් ඉන්දියානු සාගර කලාපය සාමයේ සාගර කලාපයක් විය යුතුයි; යන දැඩි ස්ථාවරයක අපි ඉන්නවා. එය ගැටුමේ සාගර කලාපයක් හෝ සතුරු කඳවුරුවල සාගර කලාපයක් නොවිය යුතුයි. අප ආර්ථික වශයෙන් බලවත්ව සිටියත් දුර්වලව සිටියත් අප එම ප්‍රතිපත්තියේ දැඩි සේ එල්බගත යුතුයි. ඒ නිසා තමයි ඇතමුන් පවසන මේ ‘ඔත්තු බලන නැවට’, අප පවසන තාක්ෂණික සන්නිවේදන නැවට, අනුමැතිය දුන් පරිදිම ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට පැමිණීමට අවකාශ සැලසිය යුතුයි, යන මතයේ අපේ පක්ෂවල නායකයන් සිටියේ.

අප විශ්වාස කරනවා, චීනය අපේ ඓතිහාසික මිතුරෙක් පමණක් නොවෙයි දුෂ්කරතාවලට ඇදවැටුණු හැම මොහොතකම අපට උදව් කළ මිතුරෙක් කියා. චීනය කිසිදිනක අපේ රාජ්‍ය ව්‍යුහය කවරාකාරයෙන් සකස් කළ යුතුද, යන්න පිළිබඳව අපට බලපෑම් සිදු කොට නැහැ; අපි කුමනාකාරයේ පාලන ආකෘතියක් යොදාගත යුතුද, යන්න පිළිබඳව අපට බලපෑම් සිදු කර නැහැ. චීනය, ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය නොවන සංවිධාන හදලා, ඒවාට මුදල් වියදම් කරලා රාජ්‍යය අස්ථාවර කරන්න, බිඳවට්ටන්න කවර ආකාරයකින්වත් කටයුතු කර නැහැ. ඒ නිසා අප ආර්ථිකමය වශයෙන් දුෂ්කරතාවකට මුහුණ දී ඇති මේ අවස්ථාවේදීත් අපට සහෝදරත්වයේ දෑත් දිගු කළ හැකි රටවල් කිහිපය අතරින් එක රටක් තමයි චීනය. මේ වෙලාවේ චීනය අපට ණයවලින් උදව් කරනවාට වඩා ආයෝජනවලින් උදව් කරාවි, කියන විශ්වාසය අපට තිබෙනවා.

චීනය වගේම ශ්‍රී ලංකාවත් ඉදිරියට යනකොට තමයි ලෝකය තුළ බලවත් සමගියක් නිර්මාණය කිරීමට අවශ්‍ය සමගිය මේ සාගර කලාපය තුළ ඇති වන්නේ. ශ්‍රී ලංකා රාජ්‍යය බිඳවැටුණොත් මේ ඉන්දියානු සාගර කලාපයේ සාමය බිඳ වැටෙනවා. ඒ වගේම අස්ථාවරත්වය ඉතා තදින් නිර්මාණය වෙනවා. අපි විශ්වාස කරනවා, එසේ නොවී ශ්‍රී ලංකා රාජ්‍යය ආරක්ෂා කරගනිමින් අපි සියලුදෙනාටම ඉදිරියට යන්න පුළුවන් වේවි කියා. ඒ වගේම අපි මේ නෞකාවේ කපිතාන්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට සුබ පතන අතර මෙහි තිබෙන තාක්ෂණය දැනකියා ගැනීමට අපේ රටේ ජනතාවට අවස්ථාව සැලසීම පිළිබඳව ඔවුනට ස්තුතිවන්ත වෙනවා.”

පසුගිය සති කිහිපය පුරා දැඩි කතාබහට ලක් වූ චීන යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාව අද (16) උදෑසන හම්බන්තොට වරායට ළඟා වුණා.

උදෑසන 08.00ට පමණ අදාළ නෞකාව වරාය පරිශ්‍රයට ළඟා වූ අතර, ටග් යාත්‍රා යොදා ගනිමින් එය ජැටිය වෙත රැගෙන ඒමටයි කටයුතු කළේ.

යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාව පිළිගැනීම සදහා කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය විශේෂ උත්සවයක්ද සංවිධානය කර තිබුණා.

ඊට මෙරට චීන තානාපතිවරයා ඇතුළු පිරිසක්ද එක්ව සිටි අතර, මේ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සරත් වීරසේකර, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද එක්ව සිටීම විශේෂත්වයක්.