hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 15, පෙ.ව. 7:42



යෝෂිත රාජපක්ෂ මහතා 2020 මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමේ සූදානමක් තිබු බවත් අවසානයේ එය අමාරුවෙන් නවතා ගැනීමට හැකිවූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

ඒ මහතා මෙසේ සඳහන් කළේ මොනරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති නිදහස් ජනතා සන්ධානයේ අපේක්ෂකයන් හා සාමාජික පක්ෂ ක්‍රියාකාරීන් වත්මන් දේශපාලන තත්වය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම්වත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළා.

“ශෂීන්ද්‍ර රාජපක්ෂ හිතාගෙන ඉන්නේ මොනරාගල තමන්ගේ සනුහරේ නින්ද ගමක්, එහි ඉන්නේ තමන්ගේ දාස වැසියෝ කියලා. එවැනි මාන්නයකින් තමයි ඔවුන් දේශපාලනය කළේ. එහෙම හිතපු නිසයි හොම්බෙන් යන්න වුණේ; සිදු වෙන්න යන අර්බුදයේ තරම තේරුම් ගැනීමට තරම් ඥානයක් නොතිබුණේ. 2015දී පැරදුණේ පවුල්වාදය නිසා හින්දා අපි හිතුවා, ‘2019දී බලයට ආවාම, නැති කරගන්න බැරි වුණත් ඒ පවුල් පාලන ලක්ෂණ අඩු කරගත හැකි වෙයි’ කියලා. නමුත් 2015ට කලින් කැබිනට් මණ්ඩලයේ හිටියේ සාටක 4යි. 2019 ඒක පහක් වුණා. සාටක පහයි කියන්නේ නාටක පහයි. ඒ පස්දෙනාගෙන් තමයි තීන්දුව එන්නේ. කැබිනට් මණ්ඩලයේ සෙසු සාමාජිකයන්ගේ මත දැක්වීම්වලට ඇහුම්කන් කන්දීම හා දක්වන සැලකිල්ල ඉතාම අඩුයි.

මට මතකයි, තමන්ගේ දෙමව්පියන් ද ගුරුවරුන් වූ නිසා ඩලස් අලහප්පෙරුම මැතිතුමා 2019දී අධ්‍යාපන ඇමති ධුරය ඉතා කැමැත්තෙන් බාර ගත්තා. ඒ 2020 මහ මැතිවරණය තෙක් පමණයි. 2020 මහ මැතිවරණයට මාතරට ඒ රාජපක්ෂලාගේ වරිග සභාවෙන් නිපුණ රණවක කියලා හාදයෙක් දැම්මා. බලන්න, මොනරාගලට ඉන්නවා ශෂීන්ද්‍ර රාජපක්ෂ ඒ වරිග සභාවෙන්. බදුල්ලටත් ඒ වරිග සභාවෙන් යෝෂිත රාජපක්ෂ කොලු ගැටයා දාන්න හැදුවා, බොහොම අමාරුවෙන් නවත්තා ගත්තා. අන්තිමට පඳුරකට ගැහුවත් ඒ වරිගේ එකෙක් තමයි එළියට එන්නේ. මෙන්න මේ මල පෙරේතකම තමයි මේ රට මේ තත්වයට ඇදවැට්ටවීමට එක හේතුවක් වුණේ. මහජනයාගේ හඬට ඇහුම්කන් දෙනවාට වඩා වරිගයේ හඬට තමයි ඇහුම්කන් දුන්නේ.” යැයි මන්ත්‍රීවරයා කියා සිටියා.