hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2022 මැයි 12, පෙ.ව. 10:30



මහජනතාවගේ දෛනික කටයුතු වලදී සහ ඔවුන්ගේ යටිතල පහසුකම් වෙනුවෙන් ස්ථාපිත කර ඇති ප්‍රධානතම ආයතනය වන්නේ පළාත් පාලන ආයතනයයි. පළාත් පාලන ආයතනයන් තුලින් බොහෝ රාජකාරීන් ඉටුකෙරෙද්දී යම් යම් ක්‍රියාදාමයන් තුලින් සිදුවන්නාවූ විශාල මුදල් නාස්තීන්ද වාර්තා වනවා.

බදුල්ල මහ නගර සභා සීමාව තුල වසර 45කට ආසන්න කාලයක් පුරාවට දැඩි පාරිසරික ගැටලුවක්ව තිබුණු බදුල්ලේ කුණු කන්දට මීට මාස කිහිපයකට උඩදී ස්ථීරසාර විසදුමක් ලබාදීමට පාලන අධිකාරිය කටයුතු කළා. විශාල වපසරියක විහිදී තිබුණු කුණු කන්ද පරිසර හිතකාමී ලෙසින් පස් දමා යටකිරීමට කටයුතු යොදවනු ලැබුවා.

නමුත් එවැනි ස්ථිර විසදුමක් තිබියදී මහජනතාවගේ බදු මුදල් විශාල නාස්තියක් සිදුව ඇති බැව් පසුගිය වසර ගණනාවක් තුලදී වාර්තා වනවා.

මේ සොයාබැලීම එම මුදල් නාස්තිය පිළිබදවයි.

බදුල්ල නගරයෙහි රේස්කෝස් පාර නමින් ඇති මාර්ගයට යාබදව අතීතයේදී අති සුන්දර ජල තටාකයක් බදුවූ එදා බදුලු වැව නමින් ප්‍රසිද්ධ ස්ථානයක් තිබී ඇත. අද අප සොයා බලනා බදුල්ලේ කුණු කන්ද නිර්මාණය වන්නේ එවන්වූ සුන්දර ස්ථානයකයි.

බදුල්ල නගරයෙහි පිහිටි හෙක්ටයාර 10ක පමණ වපසරයකින් යුත් වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය ජාතික මට්ටමේ හා වෙනත් ක්‍රීඩා කටයුතු සහ මහජන උත්සව කටයුතු වෙනුවෙන් මනාව නඩත්තු කරමින් පවත්වාගෙන ගොස් ඇති බවත් එහෙත් පසු කාලයකදී නඩත්තු කටයුතුවල දුර්වලතා හේතුවෙන් මෙම ක්‍රීඩාංගණය ක්‍රමයෙන් පරිහානියට පත්ව නොසලකා හරින තත්වයකට පත්ව ඇති බව 2013 වසරේ ජූලි මාසයේ දිනකදී එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කෙරුණු අමාත්‍ය මණ්ඩල සංදේශයේ සදහන් වනවා.

බදුල්ල මහ නගර සභාවට කැලි කසල බැහැර කිරීමේ අංගනයක් සපයා ගැනීමේ අපහසුතාවය හේතුවෙන් මෙම ක්‍රීඩාංගණ පරිශ්‍රයේ කොටසක් කැලි කසළ බැහැර කිරීම සදහා යොදා ගනු ලැබ ඇති අතර 2013 වර්ෂය වන විට එහි ඝන මීටර් 58000ක් පමණ වූ කැලි කසල ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවට වාර්ථා වී ඇති බවත් මෙම කැලි කසල පල්වීම හේතුවෙන් මුලු නගරයෙහි දැඩි පරිසර දූෂණයටත් අශෝභන තත්වයටත් පත්ව ඇති බව එම කැබිනට් සංදේශයේ වැඩි දුරටත් සදහන් වනවා.

බදුල්ල දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීමකදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවත් එහිදී අප්‍රමාදව එම කැලි කසල ඉවත්කොට ක්‍රීඩාංගණය හා අවට පරිසරය ඉහළ ප්‍රමිතියකින් යුතුව උසස් මට්ටමින් ප්‍රතිසංවර්ධනය කිරීමටද එහිදී තීරණය ගෙන තිබුණු බවත් ඒ සදහා බදුල්ල මහ නගර සභාවට අවශ්‍ය සහය නාගරික සංවර්ධන අධිකාරිය මගින් ලබාදිය යුතු බවටද උපදෙස් දී ඇති බව අමාත්‍ය මණ්ඩල සංදේශයේ අංක 1 පසුබිම යටතේ පෙන්වා දී තිබෙනවා.

එහි අංක 2යටතේ වත්මන් තත්වයද පෙන්වා දෙනවා.

එහි සදහන් කරුණු වන්නේ මෙම කසළ බැහැර කිරීම සදහා නගරයෙන් ඈත සොරණාතොට පිහිටි සාර්නියා වත්තෙන් ඉඩම් අක්කර 5ක් පමණවූ බිම් කොටසක් අත්කරගෙන යුධ හමුදා සහය ඇතිව කැලි කසල බැහැර කිරීමට වැඩ පිලිවෙලක් සකසා ඇති බවයි.

මෙම කැලි කසල ඉවත් කිරීම සදහා රුපියල් මිලියන 36ක් වැය වෙතැයි ගණන් බලා තිබෙනවා.

මෙම මුදල බදුල්ල මහ නගර සභාවට දැරීමට හැකියාවක් නොමැති නිසා මහා භාණ්ඩාගාර අරමුදල් යොදා ගැනීමට සිදුව ඇති බව පෙන්වා දෙනවා.

ඒ අනුව මහා භාණ්ඩාගාරයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් 2013.07.04 දිනැති ලිපිය මගින් අවශ්‍ය රුපියල් මිලියන 30ක්වූ ප්‍රතිපාදන රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය වෙත වෙන්කර ඇති බවත් සදහන්.

අංක 07/P.C./T.G. 2013 යටතේ 2013 සැප්තැම්බර් මාසයේ දිනෙක නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතාගේ අත්සනින් යුතුව එවකට වාරිමාර්ග හා ජල කළමණාකරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ලිපියක් යොමුකරමින් සදහන් කරන්නේ.

නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි 2013. 06.13 වන දින කසල ඉවත් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බවත් මෙහි මූලික ඇස්තමේන්තු මුදල වන රුපියල් මිලියන 36ක් බවත් ඒ සදහා ක්‍රීඩා අමාත්‍යංශයෙන් මිලියන 6ක් සහ මහා භාණ්ඩාගාරයෙන් මිලියන 30ක් නාගරික සංවර්ධන අධිකාරියට ලැබුණු බවත් සදහන්.

නමුත් එහි වැඩි දුරටත් සදහන් වන්නේ මූලික ඇස්තමේන්තුවකින් තොරව ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී අත්‍යවශ්‍ය අංග කිහිපයක් ඇතුලත් නොකිරීමෙන් ගැටලුකාරී තත්වයකට පත්ව ඇති බවත් පෙන්වා දෙන අතර ඒ අනුව බදුල්ල මහ නගර සභාව විසින් නැවත සකසන ලද ඇස්තමේන්තුවට අනුව රුපියල් මිලියන 75ක් ව්‍යාපෘතියට වෙන්වන බව සදහන්.

ඒ අනුව තවත් රුපියල් මිලියන 39ක් අවශ්‍ය බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත යොමුකර ඇති ලිපියේ දැක්වෙයි.

එම ඉල්ලීමෙන් අනතුරුව කසළ ඉවත් කිරීම අඛණ්ඩව සිදු කෙරුණු අතර ඒ අනුව බදුල්ලේ ජනතාවට දැඩි පීඩාවක්ව පැවති කුණු කන්ද සම්පූර්ණයෙන්ම එම ස්ථානයෙන් ඉවත් කිරීම් සිදුවිය.

ඒ වෙනුවෙන් වැයවූ මුදල රුපියල් මිලියන 75ක්. ඒ බව  25/07/13 අංක යටතේ 2014 මාර්තු 04 වන දින නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතා තම අධිකාරියට ලැබිය යුතු මිලියන 39 ඉල්ලා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂක වෙත යවන ලද ලිපියෙන්ද තහවුරු වෙයි.

කසළ කන්ද ඉවත් කෙරුනද බදුල්ල මහ නගර සභාව දෛනික කසල එකතු කිරීම නගර සභා සීමාව තුලදී සිදුවන බැවින් ඒ සදහා යම් ක්‍රමවේදයක් දියත් කිරීමද සිදුවිය. ඒ කසළ ප්‍රතිචක්‍රීකරන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමයි. ගොඩනැගිලි තුනකින් යුත් එම මධ්‍යස්ථානය ඉදිකිරීමට රුපියල් මිලියන 60කට ආසන්න මුදලක් වැයවී තිබෙනවා.

එම මධ්‍යස්ථානයේ ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක නොවී අක්‍රමවත් වීමත් සමගින් නැවත වරක් පෙර තිබුණු ස්ථානයේම කසල කන්ද ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන්නට විය.  

2013 වසරේදී සම්පූර්ණයෙන්ම එම ස්ථානයේ කසළ ඉවත් කිරීම වෙනුවෙන් වැයවුණු රුපියල් මිලියන 75න් කිසිදු ප්‍රයෝජනයක් නොගත් බවත් මහජන මුදල් අපතේ ගිය බවත් බොහෝ විද්වත් පිරිස් පවා විටෙක බළධාරීන්ට පෙන්වා දී තිබුණා. 

කෙසේ වෙතත් වසර දෙකක් යන්නටත් මත්තෙන් නැවත වරක් පෙර පරිදිම කසල කන්ද ගොඩ ගැසෙන්නට විය. ඒ හේතුවෙන් නැවත වරක් බොහෝ ජනතාවකට පීඩා ගෙන එන්නට විය.

මෙවන් තත්වයක් තුලදී 2016.10.09 වන දින මෙම කසල කන්ද ගිනි ගැනීමකට ලක්විය. එය ඉබේ හටගත් එකක් ද එසේත් නැත්නම් කිසියම් පුද්ගලයෙක් ගිනි තැබුවාද කියන එක අදටත් රහසක්.

මෙම කසල කන්ද ගිනි ගැනීමෙන් දින 5ක් පමණ පාසැල් වසා දැමීය. ජනතාවගේ දෛනික කටයුතු වලටද දැඩි බාධාවක් ගෙන ආවේය.

එසේම මෙම ගින්න නිවා දැමීමට බදුල්ල නගර සභාවේ ගිනි නිවීම් කණ්ඩායමට අමතරව බණ්ඩාරවෙල නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පවා කැදවන්නට සිදුවිය. එසේම හමුදාව සහ නගර සභාවේ සේවකයින් ඇතුලු විශාල පිරිසක් මේ සම්බන්ධයෙන් කටයුතු කලේය. එමෙන්ම ගුවන් හමුදාවේ බෙල් 212 ගුවන් යානා පවා යොදා ගනිමින් ගින්න නිවා දැමීමට උත්සහ දැරීය. එම ගින්න පාලනය කිරීමට දින 7කට ආසන්න කාලයක් ගතවූ අතර එම කටයුත්ත සදහාද විශාල මුදලක් වැය විය.

කුණු කන්ද ගිනි තබා එය නිම කිරීමට ඇතැම් පාලකයින් උත්සහ කල බවත් කතිකාවතක් පසු කාලීනව ඇති වන්නට ද විය.

ඒ අනුව හොදින්ම පැහැදිලි වන්නේ මෙම කුණු කන්ද නිසා රුපියල් මිලියන සිය ගණනක මුදලක් අපතේ ගොස් ඇති බවයි.

මීට අමතරව කුණු කන්ද දඩමීමා කර ගනිමින් බොහෝ පිරිස් පිටරට සවාරි පවා ගොස් ඇති බැව් ඌව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා එවකට වේදිකා තුලදී පැවසූවේය.

තවද මෙම කුණු කන්ද නිම කිරීමට බොහෝ පිරිසක් අකමැතිව සිටි බවටත් කතිකාවතක් පවතී.

විශාල මුදල් කන්දරාවක් ගිල දැමූ බදුල්ලේ කුණු කන්ද නිමාවන හැඩක් දක්නට නොමැතිවූ අතර දිනෙන් දින කුණු ගොඩ කුණු කන්දක් බවට නිර්මාණය විය. ඒ සමගින් නැවතත් බදුල්ලේ ජනතාවට දැඩි පීඩාකාරී තත්වයකට මුහුන දෙන්නට සිදුවිය.

කාලය මෙසේ ගත වෙද්දී කුණු කන්ද නිම කිරීමට ස්ථිරසාර විසදුමක් යෝජනාවී තිබේ. ඒ මධ්‍යම පරිසර අධිකාරියේ යෝජනාවකට අනුව පරිසර හිතකාමී ලෙසින් කුණු එම භූමියේම වලදමා පස් වලින් යටකිරීමටයි. ඒ අනුව ඒ සදහා කටයුතු සැලසුම් වෙද්දී පළාත් පාලන දෙපාර්තමේන්තුව, ඌව පළාත් සභාව, මහ නගර සභාව මෙම කටයුත්තට එක්විය. සැලසුම ක්‍රියාත්මක කලේය. ඒ සදහා රුපියල් මිලියන 48ක මුදලක් ඇස්තමේන්තු කෙරිණි. පළාත් පාලන අමාත්‍යංශයෙන් රුපියල් මිලියන 30කුත් ඌව පළාත් සභාවෙන් රුපියල් මිලියන 18ක් ලෙසින් මුදල් ප්‍රතිපාදන ඒ සදහා ලැබී ඇත.

ඒ අනුව කටයුතු ක්‍රියාත්මකවූ අතර 2022 මාර්තු මාසය වන විට කුණු කන්ද සම්පූර්ණයෙන්ම පස් වලින් යටකර අවසන් කලේය. බදුල්ල ප්‍රදේශවාසීන්ට මහත් හිසරදයක් බවට පත්ව තිබුණු කුණු කන්ද නිමවිය. ඉදිරියේදී මෙම ස්ථානය පරිසර හිතකාමී ලෙසින් සැකසීමට කටයුතු සැලසුම් කර ඇති බවයි බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා සදහන් කලේ.

දසක හතරකට ආසන්න කාලයක් විශාල මුදලක් විනාශ කරමින් කටයුතු කල පාලකයින් ඇතුලු නිළධාරීන්ට මෙවන්වූ ස්ථිර විසදුමක් එදා සිතන්නට හැකිව තිබුණේ නම් මහජනයාගේ බදු මුදල් විනාශ නොවන්නට ඉඩ තිබුනා නොවේද. කෙසේ වෙතත් සැලසුමක් නොමැති කමින් සිදුකල ව්‍යාපෘති වෙනුවෙන් වැයකල මුදල් සදහා වගකිව යුතු වන්නේ කවුරුන්ද කියනා ප්‍රශ්ණය පමණක් ඉතිරිකර තිබේ.

බදුල්ල – ජයලත් දිසානායක





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: