hit counter

2024 මැයි මස 28 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 12, පෙ.ව. 12:39



සිංහල අළුත් අවුරුද්ද වු කලි  අපේ රටේ අවුරුදු පතා වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රේෂඨ මංග්‍යල්‍ය හතරෙන් එකකි.  රජකාලයේත් අපේ ඇත්තන් අවුරුදු සැමරුහ.බෞද්ධ විහාරවලදි කැඩපතකට වැටෙන බුදු පිළම හිසේ ඡායාව නාවනු ලැබුවේද අලුත් අවුරුදු කාලයේ දිය. මේ කාලයේ දි නින්දගම්වල වෙසෙන නිළපංගුකාරයෝ ගම් හිමියා හමුවිමට පැමිණ ඔහුගේ වලව්ව අළුත් වැඩියා කිරිමේ කටයුතුවල යෙදෙති.විහාර දේවාල ගම්වල වෙසෙන්නෝද  මේ පරිද්දෙන් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරති. පෙරහැරවල  සහභාගිවෙති. පාන් ගෙවල් ආදිය ඉදි කරති.බාලයෝ තම දෙමව්පියන් වෙත පැමිණ සියළු වැරදිවලට සමාව අයද සිටිති. රදළවරුද රජ ඉදිරියේ පෙනි සිටිති. අවසන් සිරිත පැවැත්විමෙන් කෙළවරවන මුළු අවුරුදු උළෙලට දින කිහිපයක් ගත වේ. මේ කාලය තුලදි හැමදෙනම කෙළි සෙල්ලම් කරමින් කල්ගත කරති.

රදළවරුද  සාමාන්‍ය වැසියන්ද මේ කාලය  තුලදි රාජ්‍ය සේවයෙන් නිදහස්ය. ඒ විතරක් නොව නැකත එළඹිමට පෙර කිසිදු කාර්මිකයකු නැවත වැඩ පටන් නො ගනියි.මෙය අතිශයින්ම දුෂ්කර කාල පරිච්ඡේදයකි. කොපමණ ඉක්මන් කාර්යයක් එළඹ සිටි නමුදු මේ කාලයේ දි කිසිත් කළ නොහැක.

එදා අපේ පරැන්නෝ අලුත් අවුරුද්ද සැමරුවේ මංගල්‍යයක් ආකාරයෙනි.නමුත් අද වන විට සියල්ල නවිකරණය වි ඇත්තේය.එදා අපේ ගැමියන් අවුරුදු සැමරු ආකාරය පිළිබද බැදි ඇත්තේ හරි අපුරු  රසවත් කථාන්දරයන්ය කලාවිදු, කලාභුෂණ, දේශශක්ති යන සම්මාන  වලින් පිදුම් ලැබු කොට්ටව සිරිසේන නැමති කලාකරුවා එදා අවුරුදු උත්සවය සැමරු අයුරු අපට ඉතා රසවත් අයුරින් විස්තර කළේය.සිරිසේන රාළහාමිගේ දැන් වයස අවුරුදු අසුපහකි.. .

 එදා  අවුරුදු සැමරු අයුරු  ඉතා රසවත් ලෙස කොට්ටව රාළහාම් ඔහුගේ වචන වලින්ම අපට විස්තර කළේය.

ඒ කාලයේ දැන් වගේ මාධ්‍ය තිබුනේ නැහැ අළුත් අවුරුද්දට මාස දෙක තුනකට කලින්  අවුරුදු සිට්ටුව රැගෙන සිට්ටුකාරයා ගමට එනවා.  ඔහු හරායට තමයි එන්නේ. සිට්ටුකාරයාට ගමේ අය සල්ලි දුන්නේ නැහැ. වි තමයි දුන්නේ. අවුරුද්දට කලින්  වළංකාරයා,රෙදි පොට්ටනි කාරයා කරවල තුනපහ අරන් කත් කාරයා ගමට එනවා . ජාඩි කාරයා ජාඩි අරගෙන එනවා. ගම්මුන් මේ අයගෙන් තමයි අවුරුද්දට අවශ්‍ය භාණ්ඩ මිලදි ගන්නේ. මිනිස්සු කඩපිල් ගානේ ගියේ නැහැ.  මේ අයට ගම්මුන්ද  අවුරුදු තෑගි භෝග ලබා දෙනවා.   ඒ කාලයේ  ගමේ හැම ගැමි ගෙදරකම පාහේ රබානක් තිබුනා. අවුරුද්ද කිට්ටුවන විට ගාල්ලට ගිහින් තමයි රබානට අළුත් හමක් ගහගෙන  එන්නේ. ගැම් කාන්තාවන් එකතුවෙලා රබන්පද කියමින් රබන්ගහනවා. රබානෙන් යම් කිසි පණිවුඩයක් දුන්නා. රබන් පදයෙන් තව කෙනෙකුට බැන වදින්න වුනත් පුළුවන්. දැන් නම් ගමක රබානක් දකින්නවත් නැහැ.

ගෙවල් පිරිසිදු කිරිමත් කරන්නේ අවුරුද්ද කිට්ටුවන විට ඒ කාලයේ කටුමැටි ගහපු ගෙවල් තමයි වැඩිපුර තිබුණේ. ගම්මුන්  සුදු හුණු ගෙනවිත් ගෙවල් දොරවල්වල හුණු ආලේප  කරණවා.  ඒ විතරක් නෙවෙයි  වහලවල්වල පොල් අතු බැදලා ළිං පිරිසිදු කරන්නෙත් මේ කාලයේ ගෙවල්වල ඇති කරණ  ගවයින් නාවලා පිරිසිදු කරලා ඔවුන්ට මල්මාල පවා දමන්න  ගැමියන් පුරුදුවෙලා හිටියා. සෙක්කුවලින් තමයි ඒ කාලයේ තෙල් හින්දේ .

ඹබර උන්චිල්ලා  අවුරුදු කාලයට ජනප්‍රියයි. ලැලි දෙකක් අරගෙන එකට තියලා බැදලා පුවක් පටි ගහලා තමයි ඹබර උන්චිල්ලාව හදන්නේ. ඒ කාලයේ ගැමි පිරිමි දරුවන් මෙන්ම් ගැහැණු දරුවන් ඹබර උන්චිල්ලා පදිනවා.  ඒ කාලයට ලණු වලට තියෙන ඉල්ලුම වැඩිය.ඇත්තටම ඒ කාලයේ කඹ වලින් සෑම ගෙදරකම පාහේ උන්චිල්ලා බදිනවා. ගැමි තරුණියන්  වාරං කියිමින් තමයි උන්චිලි පදිනවා..

අළුත් අවුරුදු කාලයට ගමේ පිරිමි දරුවන් කජු අහුලන්න යනවා  කජු අහුලන්න යන්නේ වවුල් පලවල්වලට  ගම්වල වවුල් පලවල් තිබුනා. මාත් ගමේ  කොළු ගැටවුත් එක්ක කජු ඇහිදින්න ගිහින් තියෙනවා..වවුලෝ කජු පුහුලන් කාලා කජු ඇට මේ තැන්වලට ගෙනවිත් දමනවා. උදේ රැයින් තමයි කජු ඇහිදින්න යන්නේ ගොක්කොළ  වලින් හදපු පෙට්ටියක තමයි කජු ඇට දමන්නේ වල කජු ගහන්නත් කජු ඇට ගන්නවා ඒ විතරක් නෙවෙයි කැවුම් හදනකොටත් කජු මද දමනවා..

ඇත්තටම ඒ කාලයේ  අළුත් අවුරුද කුඩා දරුවන්ට  රජ මගුලක් වගේ තමයි.  අපේ ගෙවල් අසල කොට්ටව ගම්මානයේ ඇළක් තිබුනා  ඇළට පැනලා දිය බුන් ගහනවා. අවුරුදු උත්සවය තිබ්බේ මේ ඇළේ තොටුපොළ ළග. ජල ක්‍රිඩා තමයි වැඩිපුරම තිබුණේ.  වක්ගුඩු පැනිම, ඉපිල් පැනිම,ගුඩු පැනිම ගැමි දරුවන් කරපු ක්‍රිඩා තමයි.අළුත් අවුරුදු කාලයට පංචි දැමිම  ඒ කාලයේ හැම ගෙදරකම සිදුකරණ ක්‍රිඩාවක්. සල්ලිවලට තමයි පංචි දමන්නේ. නෙරෙංචි කෙලිය, ඔලිද සෙල්ලම,කැට ගැසිම, පොල් නෙලිම, චතුරාංග කෙලිය, අවුරුදු කාලයට එන ජන ක්‍රිඩා. මේ ක්‍රිඩා බක්මාසයත් සමග තමයි කරලියට එන්නේ..ඒවිතරක්  නෙවෙයි ඒ කාලයේ   ඇවිදිමේ තරගයක් තිබුනා. ගමේ තරුණ කොළු ගැටව් තමයි මෙයට ඉදරිපත් වුනේ.අපේ ගමේ හිටියේ කරෝලිස් මුදලාලි කියලා කෙනෙක්. ඔහුට ගව පට්ටියක් තිබුනා.මේ තරගයෙන් ජය ගන්නා කෙනාට තෑගි වශයෙන් දුන්නේ හරක් බානක්. තිරික්කල රේස්ද අවුරුදු උත්සවවල තිබුණු ජන ප්‍රිය ක්‍රිඩාවක්. තිරික්කලයට බදින වෙනම ගොනෙකු හිටියා.ඒ කාලයේ  බෝහෝ නිවෙස්වල තිරික්කලයක් තිබුනා.

දැන් තමයි අවුරුද්ද ලබන විට ඒ බව රටට කියන්න රතිඤ්ඤා පත්තු කරන්නේ ඒ කාලයේ උණ බම්බුවලට භුමි තෙල් වත්කරලා උණ වෙඩිලි තමයි පත්තු කලේ..

 අළුත් අවුරුද්ද කිට්ටුවන විට පැදුරුකාරයත් ගමට එනවා පැදුරු වියන්න පුළුවන් ගැමි කාන්තාවන් පන් උගුල්ලාගෙන විත් පැදුරු වියා ගන්නවා  අළුත් පැදුරු දමලා එවායේ වාඩිවෙලා තමයි අවුරුදු කන්නේ.  අවුරුදු කෑම මේසය පිලියෙල කරණවා  පසුව සාලයේ මැද පැදුරු එලනවා .  පවුලේ අය  පැදුරුවල වාඩි වෙලා පොල්තෙල් පහන් එහෙම දල්වලා නිල් මානෙල් කොළවල හා නෙළුම් කොළවල තමයි කිරිබත් ඇතුළු කෑම වර්ග දමාගෙන අවුරුදු කෑවේ..

 ගමේ ඉන්න වැඩිහිටිඅයෙකු තමයි ගේ අලෙවි කළේ. ගම්මුන් ලෝභ නැති වැඩිහිටි අයකුට කියලා ගේ අලෙවි කළා.

වැඩ අල්ලන කොට  ගෙදර කාන්තාව තමයි ළිදත් සමග ගණු දෙණු කරන්නේ ඒ වගේම කිරි ගහක් කපනවා කොස්,දෙල්, වගේ ගස්  පිහියකින් කපනවා කිරි වැක්කෙරෙණ කම්  කුඩා දරුවන් වැඩිහිටියන් සමග කැවුම්,කොකිස්,  ඇතුළු කිරිබත් තැටි තමයි අසල් වැසි හා ඥාති ගෙවල් ගෙවල්වලට අරගෙන යන්නේ බුලත් දිලා වැද නමස්කාර කරණවා. ඇත්තටම ඒ කාලයේ අවුරුදු සිට්ටුකාරයා එන තෙක් තමයි ගැමි දරුවන් බලාගෙන ඉන්නේ එදා ඉදලා ගැමි දරුවන්ට අවුරුදු තමයි.ගැහැණු අය ඇන්දේ කම්බාය පිරිමි අය පට සරම නැතිනම් අල්ලි තියෙන සරම තමයි ඇන්දේ.

ඒ කාලයේ ගැමි ගෙවල්වල රාත්‍රියට පත්තු කරලා  තියෙන්නේ  නොම්මර 15 චිමිනි ලාම්පු. වවුල්පලවල් වලින් දොඹ ඇට එකතු කරලා දොඹ තෙල් එහෙමත් අරගෙන තියෙනවා ගමන් බිමන් යන විට ලැන්තැරුම වගේම හුළු අතු එහෙමත් අරගෙන ගිහින් තියෙනවා. .

හෙලයේ මහාගත්කරු මාටින් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක කොග්ගල ගං දුවේ  ජොන් අයියාගේ නිවසේ අලුත් අවුරුද්ද  සැමරු අයුරුත් කොට්ටව රාළහාමි  ඉතා රසවත් ලෙස විස්තර කළේය.

වික්‍රමසිංහ මහත්තයා  අප්‍රේල් මාසයේ දිනක මට කොග්ගල ගෙදරට එන්න කියලා පණිවුඩයක් එවලා තිබුනා. සිරිසේන අපි ටිකක් විනෝද වෙන්න ගංදුවේ පැත්තේ යමු කියලා කිවා. ඔහු හරි ආසයි ඔරු පදින්න. මාත් එක්ක තමයි යන්න කැමති. කොග්ගල ඕයේ සුරදියෙල් අයියාගේ ගෙදරට ගියා. අවුරුදු සංග්‍රහ තිබුනා. අල බතල, ඉස්සෝ,කකුළුවෝ., කුරක්කන් තලපා කාලා අපි ආවා. වික්‍රමසිංහ මහත්තයා මට කමිසයක්ද තැගි දුන්නා යැයිද කොට්ටව රාළහාමි කිවේය.

එහෙත් අලුත් අවුරුදු කාලයට ගමේ තිබු ගැමි සුන්දරත්වය අද වියකි ගොසිනි. අද සියල්ල වෙනසකට ලක්ව ඇත්තේය. කොටින්ම කිවහොත්  අපේ ඇත්තන් විසින් අලුත් අවුරුද්දත් නවිකරණය කරගෙන ඇත්තේය.  කෙසේවුවද රටේ පවතින දැඩි ආර්ථික අර්බුද හමුවේ  ජනතාව දැඩි ලෙස පිඩාවට ලක්ව සිටිති. මේ නිසා  රට්ටුන්ට වෙනදාමෙන් අලුක් අවුරුද්ද උත්සවාකාරයෙන්  සැමරිමට නොහැකිවි ඇත.