hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 10, පෙ.ව. 12:01



1959 දී සිංගප්පූරුවේ අගමැතිවරයා වශයෙන් පත් වන ලී ක්වාන් යූ Lee Kaun Yew බලයට පත්වන විට සිංගප්පූරුව පැවති යේ ඉතාමත් අඩු සංවර්ධිත රටක් වශයෙනි. ලංකාවට වඩා ඉතා පහළ සංවර්ධිත රටක් වශයෙන් ද ස්වාභාවික සම්පත් වලින් සමන්විත නොවූ රටක් වශයෙන් ද පැවැති සිංගප්පූරුව 1960 වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර්  මිලියන 70 වූ අතර 2020 වර්ෂය වන විට එය ඇමරිකානු ඩොලර් බිලියන 370 දක්වා  මේ සා විශාල සංවර්ධනයක් ඇති වූයේ කෙසේද යන්න පිළිබඳ සොයා බැලියයුතු වන අතර මෙය ලංකාවේ ඉදිරි සංවර්ධන දී වැදගත් ආදර්ශයකි.

මෙහිදී මූලිකව ම ලී ක්වාන් යූ අගමැතිවරයා විසින් සිංගප්පූරුව කලාපයේ සාර්ථක රාජ්‍යයක් බවට පත් කිරීම්ට මුලිකවම කාරණා කීපයක් සිදුකර තිබේ. ඵලදායි  රාජ්‍ය නිලධාරී තන්ත්‍රයක් ඇති කිරීම මූලිකවම සිදු කරන ලද ප්‍රධාන කාර්යයකි. රාජ්‍ය ප්‍රතිපත්ති පහළ තලයට ගෙනයන එසේම රජයේ සංවර්ධන  ක්‍රියාවලිය ඵලදායි ලෙස ක්‍රියාවට නංවන යාන්ත්‍රණය වන්නේ ඵලදායි නිලධාරීන් තන්ත්‍රයක් ඇති කිරීමයි. වැදගත් වන්නාවූ  රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා  කාර්යක්ෂම නිලධාරී තන්ත්‍රයක් අවශ්‍ය වේ. අද අපට ගොඩනගා ගැනීමට නොහැකි වී ඇත්තේ ද මෙම සංවිධාන ව්‍යුහය යි. නව ලෝකය නොදකින නිලධාරී තන්ත්‍රයක් තුළින් රටක් ඉදිරියට ගමන්කළ නොහැක. නව ලෝකය දකින, නිර්මාණාත්මක සිතුම් පැතුම් ඇති, කඩිනම් තීරණ ගන්නා, ජනතාවාදී නිලධාරි පැළැන්තියක් ගොඩනඟා ගන්නා තාක් අප තවදුරටත් ගමන් කරන්නේ ආපසු කරා බව මතක තබාගත යුතුය.

ලී ක්වාන් යූ රාජ්‍ය ප්‍රතිපත්තියේ අනෙක් වැදගත් කාරණය වන්නේ දූෂණය පිටු දකින  පිරිසිදු රාජ්‍ය්යක් ගොඩ ගොඩනැගීමයි. සිංගප්පූරුව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වීමෙන් පසු වුවද දූෂණය පිටු පිටුදැකීමටට ක්‍රමවේදයක්  නොවිණි. ලී ක්වාන් යූ ගේ නායකත්වය යටතේ 1952 දී දූෂණ ක්‍රියා විමර්ශන කාර්යාංශය ( Corrupt Practices Investigation Bureau) CPIB  පිහිටුවීමත් 1960 දී දූෂණ වැළැක්වීමේ පනත (Prevention of  corruption Act)  මගින් පිරිසිදු පාලනයට අඩිතාලම් දැමිණි. රට තුළ සහ රාජ්‍යතන්ත්‍රය තුළ දූෂණය පිටුදැකීම, වැලැක්වීම මගින් විශාල මුදල් සම්භාරයක් රටට සහ රජයට ඉතුරු කර ගැනීම්ට හැකියාව ලැබුණු අතර ඒ  කවානුව තුළදී ක්‍රියාත්මක වූ සංවර්ධන යෝජනා ක්‍රම තුළින් විශාල මුදල් සම්භාරයක් ඉතිරිකර ගැනීමට හැකිවිය. රටක් සංවර්ධනයේදී ලී  ක්වාන් යූගේ කුසලතා සංවර්ධනය පිළිබඳ අදහස් ඉතා වැදගත් වේ. 1963 දී සිංගප්පූරුව සහ මැලේසියාව සාරවාක් සහ සබා සමඟ මලයන් සම්මේලනය පිහිටුවා ස්වාධීන වූහ. සම්මේලනය පිහිටුවීමෙන් පසු, ආර්ථික සංවර්‍ධනය ඉතාමත් හදිසි අවශ්‍යතාවයක් වූ අතර, මෙම දියුණුව සඳහා කුසලතා අවශ්‍ය විය. දක්ෂතා පිළිබඳ ලී ක්වාන් යූගේ අදහස් වලට මූලික අංග තුනක් තිබුණි: උසස් අධ්‍යාපනය දියුණු කිරීම, නායකයින් තෝරා ගැනීම සහ විදේශීය කුසලතා ආකර්ෂණය කර ගැනීම.

ලී  ක්වාන් යූ සදහන් කරන පරිදි

“බොහෝ ආසියානු නායකයින්ගේ කෑදරකම, දූෂණය සහ පිරිහීම නිසා අපි අසනීප වීමු. [පිරිසිදු හා ඵලදායි රජයක් පිහිටුවීම සඳහා වූ ගැඹුරු මෙහෙවර පිළිබඳ හැඟීමක් අපට තිබුණි”.

1959 ජුනි මාසයේදී අපි දිවුරුම් දුන් විට, “අපි සියළුම දෙනාම අපේ පෞද්ගලික හැසිරීම් වල සහ අපේ පොදු ජීවිතයේ පාරිශුද්ධ භාවය සහ අවංකභාවය සංකේතවත් කිරීම සඳහා සුදු කමිස සහ සුදු කම්මැලි පැළඳ සිටියෙමු.”

“1959 ජුනි මාසයේදී අප බලයට පත් වූ දිනයේ සිට ම ආදායමේ සෑම ඩොලරයක්ම නිසියාකාරව ගිණුම් ගත වන අතර අතරමඟදී එය අහිමි නොවී ප්‍රතිලාභීන්ට එක් ඩොලරයක් ලෙස ළඟා වන බවට අපි වග බලා ගත්තෙමු. එම නිසා ආරම්භයේ සිටම අපි පුද්ගලික අවධානය සඳහා අභිමත බලතල සූරාකෑමට ලක් වූ ප්‍රදේශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ අතර එවැනි භාවිතයන් වැළැක්වීමට, හඳුනා ගැනීමට හෝ වළක්වා ගැනීමට හැකි උපකරණ මුවහත් කළෙමු”

ලී ක්වාන් යූ ගේ ආර්ථික සංවර්ධනයේ තවත් අදහසක් වී තිබුණේ උසස් අධ්‍යාපනය දියුණු කිරීමයි. දක්ෂතා වර්‍ධනය කිරීමේදී උසස් අධ්‍යාපනය අත්‍යවශ්‍ය අංගයක් වූ අතර ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය කුසලතා පෝෂණය කිරීම සඳහා ලී ක්වාන් යූ මුලින්ම මෙම අංශය කෙරෙහි අවධානය යොමු කළේය. 1962 දී සිංගප්පූරු විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ වාර්ෂික භෝජන සංග්‍රහයේදී ලී ක්වාන් යූ කුමක් කළ යුතු දැයි අවධාරණය කළේය. ඒ අනුව කාර්මීකරණය වූ සමාජයක් වීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා සිංගප්පූරු හා මැලේසියානු කුසලතා පෝෂණය කිරීම සඳහා විශ්ව විද්‍යාල පිහිටුවීම සිදුවිණි. ජාතිය ගොඩනැගීමේ හා ආර්ථික සංවර්ධනයේ මුල් අවධියේදී දේශපාලන ස්ථාවරභාවය වැදගත් විය. දක්ෂතා සහ දේශපාලනය අතර සමීප සම්බන්ධතාවය ලී ක්වාන් යූ සඳහන් කළ අතර 1966 පයා ලේබර් අතුරු මැතිවරණයේදී ඔහු දක්ෂ පුද්ගලයින් තෝරාගෙන ග්‍රාමීය මට්ටමේ බුද්ධිමතුන් දේශපාලනය සඳහා යොමු කිරීම් තුළින් ජාතික තලයේ නායකයින් බිහි කිරීමේ අඩිතාලම ඇති කළේය. තවද ලී ක්වාන් යූගේ බලපෑම යටතේ සිංගප්පූරුව දක්ෂතා වර්‍ධනය වැදගත් උපාය මාර්ගයක් බවට පත් කළේය. සිංගප්පූරු රජයේ කුසලතා වර්ධන ප්‍රතිපත්ති ඔහුගේ අදහස් මත පදනම් වූ අතර එය සිංගප්පූරුවේ ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා මූලික විය.

වෙනත් රටවලින් ඉගෙනීම: ප්‍රතිපත්ති ව්‍යාප්තියේ වැදගත්කම

“ විදේශයන්හි බැලීමේ පරමාර්ථය වන්නේ පිටපත් කිරීම නොව, වෙනත් තත්වයන් යටතේ ක්රියාත්මක වන වැඩසටහන් සහ කුමන තත්වයන් යටතේ කොපමණ දුරට මෙහි වැඩ කළ හැකිද යන්න ඉගෙන ගැනීමයි. එපමණක් නොව, වෙනත් ආන්ඩු වල අසාර්ථකත්වයන්, එම වැරදි ඔබම කර ගන්නවාට වඩා, අඩු දේශපාලන වියදමකින් කුමක් නොකළ යුතුද යන්න පිළිබඳව පාඩම් කියා දෙයි”

පීඒපී ආන්ඩුවේ වැදගත් ශක්තියක් නම් වෙනත් රටවල ගැටලු වලට විසඳුම් සෙවීමේදී සිදු වූ වැරදි නැවත නොකිරීමෙන් ලද අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගැනීමට ඇති කැමැත්තයි. මේ අනුව, අනවශ්‍ය හා මිල අධික “රෝදය ප්‍රතිනිර්මාණය කිරීම” වෙනුවට, සිංගප්පූරුවේ ප්‍රතිපත්ති ගැටලු විසඳීම සඳහා සුදුසු විසඳුම් හඳුනා ගැනීම සඳහා වෙනත් රටවල සහ පෞද්ගලික අංශයේ කර ඇති දේ ගැන පීඒපී නායකයින් සහ ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයින් සලකා බලා තිබේ. තෝරාගත් ප්‍රතිපත්ති විසඳුම් සාමාන්‍යයෙන් සිංගප්පූරුවේ සන්දර්භයට ගැලපෙන පරිදි සකස් කර වෙනස් කරනු තිබේ. නිදසුනක් වශයෙන්, සිංගප්පූරුවේ රාජ්‍ය නිලධාරී තන්ත්‍රයේ පිරිස් කළමනාකරණය වැඩිදියුණු කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස රජය ජපන් සහ ප්‍රංශ සිවිල් සේවා සහ ෂෙල් සමාගමේ කාර්ය සාධන තක්සේරු කිරීමේ පද්ධතිය පරීක්‍ෂා කළේය. ලී ක්වාන් යූ සිය මතක සටහන් වලින් හෙළි කළේ, එම්එන්සී හි ආයතනික නායකයින් ජ්යෙෂ්ඨ නිලධාරීන් බඳවා ගැනීම සහ උසස් කිරීම පිළිබඳව සාකච්ඡා කර 1983 දී “ෂෙල්] ක්‍රමය අත්හදා බලා එය ප්‍රායෝගිකව සොයා ගැනීමෙන් පසු සිංගප්පූරුවේ රාජ්‍ය නිලධාරිවාදය සඳහා ෂෙල් සමාගමේ කාර්ය සාධන තක්සේරු ක්‍රමය අනුගමනය කළ බවයි. මෙහිදී වැදගත්ම කාරණය වන්නේ රාජ්‍ය අංශය, පෞද්ගලික  අංශයේ අත්දැකීම් තුළින් තරගකාරීත්වය හා වඩා ගුණාත්මක සේවාවක් පොදු මහජනතාවට ලබාදීම සඳහා අත්දැකීම් ලබාදීමයි.

1959 දී සිංගප්පූරුවේ ලී ක්වාන් යූ බලයට පත්වන විට ලංකාවේ  සිංගප්පූරුවේ ආර්ථික ආර්ථිකයත් සමග සසඳා බැලීමේදී අද අප රට සිටින්නේ කොතැනද යන්න පිළිබඳව තවදුරටත්  වටහා ගැනීම තුළ සිදුවිය යුත්තේ ලංකාවට තවදුරටත් මෙම ක්‍රියාදාමය තුළ ගොඩනැගිය නොහැකි වන බවයි. 1970 වනවිට ඇ.ඩො. බිලියන 0.09 ක් වූ විදේශ ආයෝජන 2019 ඇ.ඩො.බිලියන 114 ක් ව තිබූ අතර 2020 දී එය ඇ.ඩො. බිලියන 90 ක් ව පැවතියෙන් ලංකාවේ 1979 වර්ෂයේ දී විදේශ ආයෝජන ඇ.ඩො. බිලියන 0.05 ක් වූ අතර 2019 වර්ෂයේ දී එය ඇ.ඩො. බිලියන 0.07 ක් වූ අතර එය එක් වසරකදී වත් දශක 50 ක් ඉක්මවී තිබුණ ද ඇ.ඩො. බිලියන 1.5 ක් ඉක්මවා ආයෝජන ඉහළ නංවා ගැනීම සඳහා නොහැකි වීම පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළ යුතු කාරණයකි. 2020 දී සිංගප්පූරුව සඳහා වූ ජාත්‍යන්තර සංචිත ඇමෙරිකානු ඩොලර් මිලියන 369,834 කි. සිංගප්පූරුවේ ජාත්‍යන්තර සංචිත 1971 දී ඇමරිකානු ඩොලර් මිලියන 1,452 සිට 2020 දී ඇමරිකානු ඩොලර් මිලියන 369,834 දක්වා 12.43% ක සාමාන්‍ය වාර්ෂික අනුපාතයකින් වර්ධනය විය. තව තවත් මේ දත්තයන් සංසන්දනය කළ යුතු නොවේ. දශක 50 කට අධික කාලයක් අප එක තැන පල් වී එකිනෙකාට ඇඟිල්ල දිගුකරමින් කාලය කා දමා තිබෙන බව පැහැදිලියි.

තවදුරටත් වරදකරුවන් සොයා එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින් කාලය කා දැමිය යුතු නොවේ. දේශපාලන වේදිකාවල, පාර්ලිමේන්තුවේ කෑ මොර දී පලක් නොමැත සත්‍ය වශයෙන් සියලු දෙනා මේ ගැන අවංකවම සිතා කටයුතු කිරීම ඉතා වැදගත් වේ. ඒ සඳහා මෙය හොඳම කාලයකි. දේශීය වශයෙන් කර්මාන්ත ගොඩනගමින් දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කොට දේශීය මෙන්ම විදේශීය වෙළඳ පොලවල් සොයා යා යුතුයි. කොවිඩ් උවදුර නිසා බොහෝ රටවල සැපයුම් ජාලයන් අඩාල වී සැපයුම් ජාලයන් බිඳ වැටී තිබේ. එම නිසා ලංකාවේ නිෂ්පාදනයන්ට මෙම හොඳ අවස්ථාව ලබාගත හැකිය. ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය සඳහා පුළුල් වැඩපිළිවෙළක් දැන්වත් ක්‍රියාත්මක කළ යුතුය. ආයෝජන මණ්ඩලයේ පවතින නිලධාරීවාදය තවදුරටත් විදේශ ආයෝජකයින්ට පළක් වන්නේ නැත. ලංකාවේ පවතින විදේශ ආයෝජන පිළිබඳව විදේශ ආයෝජකයින් සතුව පවතින දැනුම අල්පය. ආයෝජන අවස්ථාවන් මෙම වෙබ් පිටුවේ පළ කළ පමණින් විදේශ ආයෝජකයින් පැමිණෙන්නේ නැත. විදේශ ආයෝජකයින් දිනාගැනීම සඳහා තෝරාගත් තානාපති කාර්යාල හරහා විශේෂිත වූ මනා සම්බන්ධතාවයක් ගොඩ නැගිය හැකි තරුණ කොටස් යොදවා ආයෝජන අවස්ථාවන්  පුළුල් කිරීම සඳහා යොදාග ගත යුතුය. විදේශ වල සිටින සාම්ප්‍රදායික තානාපති නිලධාරීන්ගෙන් මෙය සිදුවන්නේ නැත.

අනෙක් අතට ඉදිරි වසර කිහිපය ආර්ථිකය තුළ පුළුල් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයන් වල අවශ්‍යතාවය දැඩිව පවතින අතර රාජ්‍ය අංශයේ පවතින නිලධාරීවාදය තවදුරටත් පවත්වාගැනීම තුළ අපට ඉදිරියට යා නොහැකිය. ලී ක්වාන් යූ අගමැතිවරයා සිදුකළා සේම රාජ්‍ය තන්ත්‍රය තුළ පවතින නිලධාරීවාදය පිරිසුදු කළ යුතුය. ජනතාවට සමීප, ආයෝජකයින්ට හිතකර රාජ්‍යය යාන්ත්‍රණයක් ගොඩනැගීම පුළුල් අවශ්‍යතාවයකි. අළුතින් සිස්ටම් හැදීමට පෙර පවතින සිස්ටම් පිළිබඳව පුළුල් අධ්‍යයනයක් කර අදහසක්  ලබාගත යුතුය. ඉන්පසු ඒවායේ අඩුපාඩු අධ්‍යයනය කිරීම මගින් අලුත් සිස්ටම්  නිර්මාණ කළ හැකිය. කාබනික පොහොර අර්බුදයට වුයේ ද මෙම හේතුවයි. පුළුල් අධ්‍යයනයකින් තොරව කිසිදු  ප්‍රතිසංස්කරණයක් නොකළ යුතුය.

කෙසේ හෝ වේවා අද අප ගමන් කරන මාර්ගය නිවැරදිද යන්න දෙවතාවක් සිතිය  යුතු කාලය එළඹ තිබේ. යන ගමන් මග වෙනස් කිරීමට ඕනෑතරම් කාලය තිබේ. ඉදිරි වසර 10 සඳහා  සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි ක්‍රමෝපායික සැලස්මක අවශ්‍යතාවය ගොඩනැගෙමින් පවති. මේ සඳහා සියලු කණ්ඩායම් කණ්ඩායම් වල එකඟතාවය අනාගතයේ රට පැහැබර කිරීමට වැදගත් වනු ඇත.

චිත්‍රාල් ජයවර්ණ

ආර්ථික විශ්ලේෂක

කෘෂිකාර්මික ප්‍රතිපත්ති සභාවේ සාමාජික