hit counter

2024 ජූනි මස 18 වන අඟහරුවාදා

2023 ජූලි 31, පෙ.ව. 10:28



රාජ්‍ය ආයතනවල ඉඩකඩ මද වීම හේතුවෙන් ඇතැම් විට එම ආයතන වලට කුලී හෝ බදු පදනම මත ගොඩනැගිලි අත්පත් කර ගැනීමට සිදු වේ. වඩාත් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් මහජනයාට ලබා දීමේ අරමුණින් මෙසේ ගොඩනැගිලි අත්පත්  කර ගනු ලැබූවද ඇතැම්විට මෙය මැති ඇමතිවරුන්ට මෙන්ම ආයතනවල ඉහළ නිලධාරීන්ට අත යට ගනුදෙනු යහමින් ලැබිය හැකි ක්‍රියාවලියකි. ගොඩනැගිල්ලක් ලබා ගැනීමට  ටෙන්ඩර් කැඳවීමේ සිට එය අත්පත් කරගැනීම දක්වා පමණක් නොව, එහි නඩත්තු කටයුතු වලින් ද වලින් ද එම නිලධාරීන් තම පෝෂණය  සලසා ගැනීම සුලබ කාරණයයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ උප කාර්යාල දෙකක් සෙත්සිරිපාය අදියර එක, දෙක ගොඩනැගිලි වල ස්ථාපිත කර තිබේ. මේ සඳහා අත්පත් කරගෙන ඇති ඉඩ 2019 දී වර්ග අඩි 12,272කි 2020 වර්ෂයේ දී එය වර්ග අඩි 8290කි. මේ සඳහා කුලී වශයෙන් 2019 දී රුපියල් මිලියන 27.27ක්  හා 2020 දී රුපියල් මිලියන 11.49 ක් වැය කර තිබේ. එහෙත් එසේ  මුදල් වැයකර ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ වර්ග අඩි 2,52,055ක දැවැන්ත ගොඩනැගිල්ලක් ඉදි කර  තිබියදීය. එම ගොඩනැගිල්ල සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2664.05 කි. ඩෙන්සිල් කොබ්බෑකඩුව  මාවතේ පිහිටා ඇති  අධිකාරියට අයත් මග නැගුම මහ මැදුරේ වර්ග අඩි 72,400ක්  මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය අමාත්‍යාංශයට භාවිතයට ලබා දී ඔවුන් සෙත්සිරිපායේ ගොඩනැගිලි කුලී පදනමට ලබා ගන්නා හේතුව විමසිය යුත්තකි.

නව ගොඩනැගිල්ල තුළ ස්ථාපිත කළ යුතු ආයතන මොනවාද යන්න මාර්ග සංවර්ධන අධිකාරිය විසින් හඳුනාගෙන නැත. එසේ ම ගොඩනැගිල්ල ඉදිකළ පසු රේඛීය අමාත්‍යාංශයේ කාර්යාල වරින් වර එම ගොඩනැගිල්ලේ පිහිටුවා ඇත. ඒ නිසා මාර්ග සංවර්ධන අධිකාරියට අයත් සියලු කාර්යාල හා අංශ එකම ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට නොහැකි වී තිබේ. ඉන් සිදුව ඇත්තේ නිස්කාරනේ මුදල් නාස්තියක් පමණක් නො ව ආයතනයේ පරිපාලන කටයුතු වල දී ඇති කර ගත හැකිව තිබූ පහසුවද  අහිමිව යාමයි.

2020 මාර්තු 1 දින සිට 2021 ජූනි 30 දින දක්වා කාල පරිච්ඡේදය තුළ අමාත්‍යාංශ දාසයක ගොඩනැගිලි 75ක් බදු පදනම යටතේ ලබා ගනු ලැබීය. ඉන් ගොඩනැගිලි භාවිත කිරීම් 59ක් සඳහා මාසික කුලිය නිශ්චිත ව ඉදිරිපත් කර නැත. ඉතිරි ගොඩනැගිලි 16 භාවිතය සඳහා මුළු මාසික බදු කුලී වියදම රුපියල් මිලියන 36 කි. ඉන් අමාත්‍යාංශ 12ක් විසින් පෞද්ගලික අංශයෙන් ගොඩනැගිලි බදු පදනමෙන් ලබාගෙන, මාසික කුලිය ලෙස රුපියල් මිලියන තිස් තුනක්  ගෙවා තිබේ.  

ලංකාවේ රාජ්‍ය ආයතන තම  ආයතන වල ගොඩනැගිලි භාවිතයේදී, ඉඩ ප්‍රමාණය ප්‍රමාණවත්ද, අතිරික්තයක් තිබේද යන්න පිළිබඳව දත්ත පවත්වාගෙන නොයයි. එවැනි තොරතුරු පවත්වාගෙන යනු ලබන්නේ රාජ්‍ය ආයතන  අතුරින්  5% ක් පමණි. මේ හේතුවෙන් ගොඩනැගිලි සඳහා ආයතන විසින් වියදම් කරනු ලබන මුදල් පිළිබඳ නිසි තක්සේරුවක් කළ නොහැකි වී තිබේ.

ජාතික තරුණ සේවා සභාව සතු පුහුණු මධ්‍යස්ථාන විසි අටක් හා දිස්ත්‍රික් කාර්යාල හතක් ස්ථාපිත කර ඇති ඉඩම් දේපල ජාතික තරුණ සේවා සභාවට අයිති ඒවා නොවේ. මෙසේ ආයතන142ක් අතුරින් ආයතන 105ක ගොඩනැගිලි භාවිතා කිරීම් 415 ක් බදු කුලී ගෙවීමක් නොකර භාවිතා කෙරෙන ඒවාය. රාජ්‍ය ආයතන හැත්තෑ තුනක පමණක් ගොඩනැගිලි  271ක නීත්‍යානුකූල හිමිකාරීත්වය අදාළ  ආයතනයට හිමිය. තම අයිතිය හඟවමින් ගොඩනැගිලි භාවිතා කරන ආයතන වලින් 35% කට තම ගොඩනැගිලි වල නීත්‍යානුකූල හිමිකාරීත්වය අහිමිය.

රජයේ ආයතන විසින් බදු පදනම මත ලබා ගන්නා ගොඩනැගිලි බොහොමයක් පෞද්ගලික අංශයට අයත් ය. එය ප්‍රතිශතයක් වශයෙන්  68%  වේ. ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය විසින් සමාගම් මැදුරේ වර්ග අඩි 8500ක් මාසික බදු කුලී ලෙස රුපියල් 9,30,000ක් ගෙවා භාවිතා කරමින් සිටි .2013 වර්ෂයේ සිට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස අදාල බදුකරු විසින් දැනුම් දී තිබුණද වසර අටක් තිස්සේ බුද්ධිමය දේපළ කාර්යාලය විසින් ඒ පිළිබඳ කිසිදු පියවරක් ගෙන නැත. මෙම ආයතනය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ජාතික බුද්ධිමය දේපල අරමුදලින් රුපියල් 2,229,875 ක් වැය කර තිබුණි එහෙත් එම මුදලින් මිලදී ගත් ඉඩම පසුව  නාගරික සංවර්ධන අධිකාරියට පවරා දී තිබේ. ඒ අනුව මෙම ආයතනය පවත්වාගෙන යාමට අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් සලසා ගැනීම වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙළක් අද දක්වා ම නැත.

ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති බහුතරයක් විදේශ ණය ආධාර මඟින් ක්‍රියාත්මක වේ. ඒවාට අදාළ ව්‍යාපෘති  කළමනාකරණ ඒකක හතළිස් අටක් සඳහා මාසික බදු කුලිය ලෙස රුපියල් මිලියන 28.7ක් ගෙවා තිබේ. මෙම කාර්යාල පහසුකම් ලබා ගැනීමට පැහැදිලි උපදෙස් මාලාවක්  නිකුත් වී නැත. එබැවින් විවිධ මිල හා විවිධ පදනම් මත එම පහසුකම් ලබා ගනු ලැබේ. මේ නිසා අවසානයේ විදේශීය ණය වැය කරමින් සුඛෝපභෝගී කාර්යාල පවත්වාගෙන යාමට රටට සිදුවේ.

 නාගරික සංවර්ධන අධිකාරිය විසින්  ඔවුන් පනවා ඇති ගොඩනැගිලි රෙගුලාසි වලට අනුකූලව ඉදි කරන ලද ගොඩනැගිලි සඳහා අනුකූලතා සහතික නිකුත් කරනු ලැබේ. රාජ්‍ය ආයතන විසින් භාවිතා කරනු ලබන ගොඩනැගිලි වලින්  97% ක ට  එම අනුකූලතා සහතිකය ලැබී නැත. එසේම එසේ අනුකූලතා සහතිකය නොලත් ඉදිකිරීම් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ද කිසිදු පියවරක් ගෙන නැත. බදු පදනම මත ලබාගත් ගොඩනැගිලි 513 ක් සඳහා ද අනුකූලතා සහතිකය හිමි වී නැත.  ඒ අනුව විශාල රාජ්‍ය ආයතන සංඛ්‍යාවක් ගොඩනැගිල්ලේ නීත්‍යානුකූලභාවය, සැලසුමට අනුකූල බව වැනි කරුණු කෙරේ කිසිදු අවධානයකින් තොරව සිය ගොඩනැගිලි පවත්වාගෙන යනු ලබයි . රාජ්‍ය ආයතන වලින් සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් සඳහා රථ ගාල් කිරීමේ පහසුකම් සැලසීම අදාළ ආයතනයේ යුතුකමකි.

රාජ්‍ය ආයතන එකසිය හතළිස් දෙකක් අතරින් ආයතන 92ක් විසින් භාවිතා කරන ගොඩනැගිලි භාවිතා කිරීම් 427ක් සඳහා ම ප්‍රමාණවත් රථගාල් නොමැත . එහෙත් ඒවායින් රාජ්‍ය හා පෞද්ගලික අංශයෙන් බද්දට ලබා ගත් ගොඩනැගිලි දෙසිය විසි දෙකක් සඳහා මාසිකව බදු කුලී වශයෙන් රුපියල් 49,703,440 ක් ගෙවා තිබේ . ඒ අතරින් 45,379,552ක්ම පෞද්ගලික අංශයෙන්  ලබා ගත් ගොඩනැගිලි එකසිය හැට හතරක් සඳහා ගෙවන ලද මාසික බදු  කුලියයි. සේවා ලාභීන් සඳහා අදාල කාර්යය  ඉටුකර  ගන්නා තෙක් එම ආයතනය තුළ රැඳී සිටීමට  ප්‍රමාණවත් ඉඩකඩක්, ආපනශාලා පහසුකම්, වැසිකිළි පහසුකම් ආදිය සැලසීම ආයතනයේ වගකීමකි. එහෙත් ආයතන 142කින් ආයතන 89 විසින් භාවිතා කරන ගොඩනැගිලි හාරසිය තිස් හතරක එම පහසුකම් නොමැත. ඉන් පෞද්ගලික ගොඩනැගිලි එකසිය හැත්තෑවක් සඳහා මාසික බදු කුලී මුදල රුපියල් 45,352,308කි. පෞද්ගලික අංශයෙන් ලබා ගත් ගොඩනැගිලි 129ක් සඳහා මාසික බදු කුලිය රුපියල් 42,324,095 කි.

2006 ඔක්තෝබර් 17   දිනැති අංක 15 / 1467 දරන අති විශේෂ අති විශේෂ ගැසට් පත්‍රය  පරිදි සෑම රජයේ ආයතනයක ම  සනීපාරක්ෂක හා  බෑවුම් ප්‍රවේශ මාර්ග ඇතුළු ආබාධිත ප්‍රවේශ පහසුකම් තිබිය යුතුය. එහෙත්   ආයතන එකසිය හයක් විසින් භාවිතා කරන ගොඩනැගිලි හත්සිය පනස් හතරක්  අතරින් ගොඩනැගිලි 325 ක් සඳහා මාසික බදු කුලී ලෙස රුපියල් 52,357,603 ක් ගෙවා තිබුණද ආබාධිත ප්‍රවේශ පහසුකම් ඒවායේ නොවීය .

මෙසේ විශ්ලේෂණය කරන විට මේ සා මුදල් සම්භාරයක් වැය කරමින් රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ කාගේ සැප පහසුව සඳහා ද යන්න ගැටළුවකි.

හික්කඩුව – බුද්ධික වීරසිංහ