hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 07, ප.ව. 6:10



ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ “ඇටෝවා (Atorva)” නම් වෙළද නමින් හඳුන්වන රුධිරයේ කොලෙස්ටරෝල් අඩු කරන අටෝවාස්ටැටින් නම් ඖෂධය මිලදී ගැනීමේදී රුපියල් බිලියන ගණනක වංචාවක් සිදු වන බවට වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වන රවි කුමුදේශ් සහ පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජයගොඩ මහත්තුරු පවසා තිබිම පිළිබඳව හිටපු සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්,

ඇටෝවා බොරුව

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ “ඇටෝවා (Atorva)” නම් වෙළද නමින් හඳුන්වන රුධිරයේ කොලෙස්ටරෝල් අඩු කරන අටෝවාස්ටැටින් නම් ඖෂධය මිලදී ගැනීමේදී රුපියල් බිලියන ගණනක වංචාවක් සිදු වන බවට වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වන රවි කුමුදේශ් සහ පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජයගොඩ මහත්තුරු පවසා තිබිණි. පුබුදු ජයගොඩ මහතාගේ සංවාදයේ තැනක මගේ නම ද සඳහන් කරන බැවින් ඒ ගැන පැහැදිලි කිරීමක් සිදු කරමි.

ඔවුන්ගේ කරුණු දැක්වීමේ හැටියට ඇටෝවා නමින් හඳුන්වන අටෝවාස්ටැටින් වර්ගයේ බෙහෙත් 20mg, පෙති 100 පැකට්ටුවක් ඇමරිකානු ඩොලර් 6.33 ක් වේ. එම ඖෂධයේම 100 පැකට්ටුවක් ඇමරිකානු ඩොලර් 1.33 ලබා ගත හැකි නිසා නිසා එක පැකට්ටුවකින් ඩොලර් 5ක් අහිමි වේ. මේ නිසා වසරකට රුපියල් බිලියනයකට වඩා රජයට අහිමි වන බව ගණන් බලා ඇත. ඒ නිසා ඉන්දියානු ණය ආධාරද අව-භාවිතා කර ඇත.

දැන හෝ නොදැන සිදුකර ඇත්තේ සම්පූර්ණ කරුණු විකෘති කිරීමකි.

1. ශ්‍රී ලංකාවේ සමස්ත අටෝවාස්ටැටින් අවශ්‍යතාවය රාජ්‍ය අංශයට 90% කි; පෞද්ගලික අංශයට 10% කි. අටෝවාස්ටැටින් වර්ගයේ බෙහෙත් 10mg සහ 20 mg දෙකම වෛද්‍ය සැපයුම් ඒකකයට ලබාගන්නේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ තවත් දේශීය නිෂ්පාදකයන් තිදෙනෙක්ගෙන් ය. “ඇටෝවා” යනු අටෝවාස්ටැටින් ඖෂධයේ වෙළද නාමයකි. එය රජයේ රෝහල්වලට ලබා නොගනී; පෞද්ගලික අංශයේ අලෙවි වේ.

2.ඔවුන් ඉදිරිපත් කරන ඉන්වොයිස්වල දැක්වෙන්නේ පෞද්ගලික සමාගමක් ‘ඇටෝවා” වෙළඳ නාමයෙන් හඳුන්වන අටෝවාස්ටැටින් ආනයනය කිරීමට අදාළ එකකි. එය රාජ්‍ය අංශයේ රෝහල්වල භාවිතය සඳහා ගෙන්වූ එකක් නොවේ.

3 දේශීයව නිෂ්පාදනය කළ පමණින් යම් ඖෂධයක් ආනයනය නැවැත්වීම හැකියාවක් නැත. ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම රෝගීන් ද පුරුදුව ඇත්තේ ඔවුන් හඳුනාගත් වෙළඳ නාමයක් ලබා දීමට සහ ලබා ගැනීමටය. එසේ දිගු කලක් රටේ භාවිත වන ඖෂධයක් (branded medicine) ආනයනය නැවතීම මූලික අයිතිවාසිකම් කඩ කිරීමකි. ඖෂධය, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වී මිල පාලනයට යටත්ව පෞද්ගලික අංශයේ අලෙවි කරන්නේ නම් එය නිත්‍යානුකූල ය.

4. ඉන්දියානු ණය ආධාර ක්‍රමය හඳුන්වා දුන්නේ 2022 වසරේ මාර්තු මාසයේය. එමගින් ඇමරිකානු ඩොලර් මිලියන 200 වටිනා ඖෂධ සහ ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලංකාවට ගෙන ඒමට අවස්ථාව හිමි විය. ශ්‍රී ලංකාවේ ඖෂධ මිලදී ගැනීමට මුදල් නැති නිසා අප මුදල් අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඉන්දීය වැඩපිළිවෙල ඉදිරිපත් විය. මුදල් අමාත්‍යංශ සහ වෙළද අමාත්‍යාංශය මෙසේ ලැබෙන ඩොලර් මිලියන 200 පහසුකම, ඩොලර් මිලියන 126 ක් රාජ්‍ය ඖෂධ සංස්ථාවටත් (SPC),ඩොලර් මිලියන 45ක් ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය සඳහාත්, ඩොලර් මිලියන 25ක් පෞද්ගලික අංශයට ඖෂධ නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ගෙන ඒමටත්, ඩොලර් මිලියන 4ක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට (SPMC) අමුද්‍රව්‍ය ගෙන ඒමටත් වෙන් කරන ලදි. මෙහිදී සිදුවන්නේ ඉන්දියාවෙන් ඩොලර් හෝ වෙනත් ඍජු මුදල් ලබා දීමක් නොවේ.

පෞද්ගලික අංශය තමන්ට අවශ්‍ය ඖෂධ ගැනීමේදී එම වටිනාකම රුපියල්වලින් ලංකාවේ බැංකුවක තැන්පත් කරන අතර ඉන්දියානු රාජ්‍ය බැංකුව (State Bank of India) සැපයුම්කරුට ඉන්දියානු රුපියල්වලින් ගෙවීම සිදු කරනු ලැබේ. එම ගනුදෙනුව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සම්බන්ධ නොවේ.

5. මොවුන් දක්වන ඉන්වොයිසය 2021 වසරේ ඔක්තෝම්බර් මසට අදාල එකක්ය. ඒ වන විට ඉන්දියානු ණය ආධාර ක්‍රමයක් තිබුනේ නැත. එය දියත් වන්නේ මේ වසරේ (2022) මාර්තු මාසයේ සිටයි.

6. ඉන්දියාවෙන් මේ ආකාරයේ පහසුකමක් ලැබෙන බව දැනගත් පළමු දින කිහිපය තුළම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, වෛද්‍ය සැපයුම් ඒකකය සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිලධාරීන් දින කිහිපයක් සාකච්ජා කර ලබා ගත යුත්තේ කුමන ඖෂධදැයි යන්න තීරණය කර ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර කඩිනමින් එය නිමා කරන ලදි. ඒ දිනවල එය විවේචනයට ලක් වූයේ ඉන්දියාවෙන් බෙහෙත් ගෙන්වීමට මෙතරම් තදියමක් ඇයිද යනුවෙනි. අද පවසන්නේ ඉන්දියානු ණය ආධාර ලැබී තිබියදීත් එය හරියට ප්‍රයෝජනයට නොගත්තා යනුවෙනි. ශ්‍රී ලංකාව පාර්ශවයෙන් දින කිහිපයකින් කටයුතු බොහොමයක් නිමා කලද ඇතැම් ඉන්දියානු සැපයුම්කරුවන් ඉන්දියානු රුපියල්වලින් ගෙවීම් ලබා ගැනීමට තිබූ අකමැත්තත්, ඉන්දියානු රාජ්‍ය බැංකුව අනෙකුත් ඉන්දීය බැංකුවලට අවශ්‍ය උපදෙස් ලබා දීමේදී සිදු වූ ප්‍රමාදයත් නිසා මුළු ක්‍රියාවලියම සති කිහිපයක් ප්‍රමාද විය.

මේ ගැන මම කිහිප විටක්ම ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස් අමතා මෙකී ගැටළු නිරාකරණයට මැදිහත්වන ලෙස ඉල්ලීමී. තවද ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යතුමා මගින් ඉන්දීය විදේශ කටයුතු ඇමති ජයශංකර් මහතා දැනුවත් කිරීමටද කටයුතු යෙදීමි. කෝප් කමිටුවේදී අයකු ප්‍රශ්න කර තිබුනේ සීනි, පරිප්පු ගෙන්වන ආකාරයට බෙහෙත් ඉක්මනින් ගෙන්වීමට නොහැක්කේ මන්ද යනුවෙනි. රාත්‍රී ප්‍රවෘත්ති සඳහා දේශපාලනඥයන් කිහිප දෙනකු රාජ්‍ය නිලධාරියකු වට කර ප්‍රශ්න කරන විට, එකට එක කීමට නොහැකි නිසා කෙතරම් අවංක නිලධාරියකු වුවද කරබා ගෙන සිටී (සම්ප්‍රදාය අනුව අදාල විෂය සාකච්ජා කරන විට විෂය භාර අමාත්‍යවරයා/වරු COPE, COPA කමිටුවලට සහභාගී නොවේ).

6. සාමාන්‍යයෙන් ඖෂධයක් ඖෂධීය නමින් (generic) අලෙවි කරන මුදලට වඩා වෙළඳ නමකින් (brand) අලෙවි කරන විට මිල ඉහලය. වෛද්‍ය සැපයුම් අංශය වෙළෙඳ නම්වලින් ඖෂධ ලබාගැනීමක් සිදු නොකරයි. අදාල පෞද්ගලික සමාගමෙන් මෙකී ඖෂධය පිලිබඳ මා විමසූ විට ඔවුන් දැනුම් දුන්නේ “ඇටෝවා” වෙළද නමින් අදාල මාත්‍රාව පසුගිය වසර 7ටම ආනයනය කර ඇත්තේ එකම මිලටම බවයි. “ඇටෝවා” වෙළද නාමයෙන් යුතු අටෝවාස්ටැටින් ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ හඳුන්වා දී ඇති ක්‍රියා පටිපාටියට අනුව ශ්‍රී ලංකාවට ගෙන්වා මිල පාලනය යටතේ අලෙවි කිරීමට එකී සමාගම බලාපොරොත්තු වන්නේනම් ඊට බාධාවක් නැත (අටෝවාස්ටැටින් 10mg පාලන මිල රු 26.36කි, 20mg පාලන මිල රු 41.61 කි)

මෙහිදී සිදුව ඇත්තේ පසුගිය වසරේ පෞද්ගලික අංශයට ගෙන ආ ඖෂධයක් රාජ්‍ය අංශයට ගෙන එන ලදැයි අසත්‍යයක් පැවසීමකි; එය ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ගෙන්වුයේයැයි කරුණු විකෘත කිරීමකි. එනම් මෙය මඩ ගැසීමටම නිර්මාණය කල කතාවකි.

ඖෂධ ගැන හිටිවනම අසාමාන්‍ය සාකච්ජාවක් මතුව ඇත්තේ වෙනත් පුද්ගලයකුගේ අවශ්‍යතාවටයි. ඔහු තමන්ට හිතවත් අවිචාරශීලී මාධ්‍යවේදීන් සහ තවත් අය යොදා ගෙන මාධ්‍ය මෙහෙයුමක් අරඹා ඇත. ඔවුන් ගැන ද ඉදිරියේ සදහන් කරමි.