hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූලි 24, ප.ව. 1:38



සුන්දර දකුණු කොළඹ වෙරළ තීරය රැක ගැනීමේ අරමුණින් 2020 පෙබරවාරි 29 සිට අප්‍රේල් 21 දක්වා ‘දකුණු කොළඹ වැලි පෝෂණ ව්‍යාපෘතිය’ ක්‍රියාත්මක විය. මේ සඳහා වැයවූ මුදල රුපියල් මිලියන 889 කි. මේසා විශාල මහජන මුදලක් වැය කරමින් ඉටු කරන ලද ව්‍යාපෘතියෙහි ඵල නෙළා ගත නොහැකිව අසාර්ථක විය. මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපෑ කරුණ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්තනෝමතික හා වගකීම් විරහිත ක්‍රියා කලාපයයි.

ව්‍යාපෘති අනුමත කිරීමේ අනු නියෝජිත ආයතන විසින් අනුමත කරන ව්‍යාපෘති සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් නම් කරන ලද අනු නියෝජිත ආයතනයකින් අනුමැතිය ලබා ගත යුතුය. එය 1993 අංක 13 දරණ ජාතික පාරිසරික පනතේ රෙගුලාසි (1) යටතේ දක්වා ඇත. එහෙත් දෙපාර්තමේන්තුව විසින් ව්‍යාපෘතියේ වැලි පෝෂණයට අදාළව පරිසරයට වන බලපෑම සම්බන්ධව එවැනි ඇගයීම් වාර්තාවක් හෝ අනුමැතියක් ලබා ගෙන නොතිබිණි. මෙවැනි රෙගුලාසි පනවා ඇත්තේ පරිසරයට සංවර්ධන ව්‍යාපෘති වලින් වන හානිය අවම කර ගැනීම හා නිෂ්ඵල වීම් වලක්වා ගැනීම සඳහාය.

මෙසේ අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීමට දෙපාර්තමේන්තුවට ඇති අයිතිය කුමක්ද? මෙම පෙර කී ඇගයීම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආයතනයට පරිබාහිර සුදුසුකම්ලත් ආයතනයකින් කරවා ගත යුතුවේ. එහෙත් මෙම ඇගයීම දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්ම සිදුකරන ලද්දේ මන්ද යන්න විමසා බැලිය යුතු කරුණකි. එයද මධ්‍යම පරිසර අධිකාරියේ අනුකමිටුව නිකුත් කළ පාරිසරික බලපෑම් ඇගයීමේ ක්‍රියාවලියේ මාර්ගෝපදේශ වලට අනුකූලව නොවේ. බල්ලාගේ කටයුත්ත බූරුවා කරන්නට යෑමෙන් දෙපාර්තමේන්තුව කාබාසිනියා කළ මුදල් වලට වග කියන්නේ කවුරුන්ද? 

ව්‍යාපෘතියේ අනාගත ප්‍රතිලාභ, එම ප්‍රතිලාභ ලැබේ යැයි අපේක්ෂිත කාලය, නඩත්තු හා අනාගත සංවර්ධනයන් ඔවුන් විසින්ම සකසාගත් ශක්‍යතා වාර්තාවට ඇතුළත් කර නොතිබුණේ මෙම ව්‍යාපෘතිය අසාර්ථක වන බව දෙපාර්තමේන්තුව කල් තබාම දැන සිටි නිසා විය යුතුය. ශක්‍යතා අධ්‍යයන වාර්තාව නිසි තාක්ෂණික ප්‍රවීණත්වයකින් හා දැනුමකින් යුතු පුද්ගලයින් විසින් සකස් කළ බවට තහවුරු කර තිබුණේද නැත. ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පූර්ව අනුමැතියක් ලබා ගත යුතුය. එහිදී අදාල වෙරළ තීරයේ ඛාදනයට ලක්ව ඇති වපසරිය පරීක්ෂාවට ලක් කළ යුතු වේ. වෙරළ ඛාදනයට ලක්ව ඇති ආකාරය, ප්‍රමාණය, ව්‍යාපෘති ආවරණය හා ව්‍යාපෘති පිරිවැය, ප්‍රතිලාභ යනාදිය මෙහිදී විමසුමට ලක් කළ යුතු වේ. එහෙත් මෙම ව්‍යාපෘතියේ දී එවැනි පූර්ව අනුමැතියක් ලබා ගැනීමට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව උනන්දු වී නැත. මහජන මුදල් පිළිබඳව වගකීම් විරහිතභාවය මෙයින් පිළිබිඹු නොවන්නේද? 

ශ්‍රී ලංකාව තුළ මෙබඳු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී විශේෂිත ආගාධමිතික සමීක්ෂණයක් සිදු කළ යුතුය. ඒ සඳහා මෙන්ම අවශ්‍ය උපදෙස් සේවා සැපයීම සඳහා පිහිටුවා ඇති ආයතනය ජාතික ජල සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය අන්තර්ජාතික වශයෙන් පිළිගත් ආයතනයකි. මෙම ආයතනය වෙතින් පහසුවෙන්ම ආගාධමිතික සමීක්ෂණයක් සිදු කරවා ගැනීම  හෝ අවශ්‍ය උපදෙස් සේවා ලබා ගැනීම දෙපාර්තමේන්තුව හිතාමතාම පැහැර හැර තිබේ. 

ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපය තුළ සිදුකරන ව්‍යාපෘතියක් සඳහා පරිසර සංරක්ෂණ අධිකාරියෙන් වාර්තාවක් ලබාගැනීම අවශ්‍ය වේ. මෙවැනි ව්‍යාපෘති තුළින් පරිසරයට සහ ජලජ ජීවීන්ට විය හැකි හානිය හඳුනා ගැනීම හා ඒවා  වැළැක්වීම මෙම වාර්තාව ලබා ගැනීමේ අරමුණයි. මෙම වාර්තාව ලබා ගැනීමද වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පැහැර හැර තිබේ.

වෙරළ වැලි පෝෂණ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වැලි සම්බන්ධයෙන් පිළිගත් ආයතනයකින් ගවේෂණ කටයුතු සිදුකර එම වාර්තාව ඉදිරිපත් කර භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයෙන් ගවේෂණ බලපත්‍රයක් ලබා ගත යුතු වේ. එහෙත් මෙම ව්‍යාපෘතියේදී අවශ්‍ය වැලි ලබාගෙන තිබුණේ වලංගු ගවේෂණ බලපත්‍රයක් හෝ වලංගු කැණීම් බලපත්‍රයකින් තොරව ය. 

මුලින් කොල්ලුපිටියේ සිට ගල්කිස්ස දක්වා වෙරළ තීරය කිලෝමීටර් 10 සීමාන්තික කලාපයක් ලෙස ස්ථායි කිරීමට වැලි ඝන මීටර් 800,000 ක් යාන්ත්‍රික වැලි පොම්ප කිරීමට සැලසුම් කර තිබුණි. පසුව කිසිදු තාර්කික හේතු දැක්වීමකින් තොරව එය ගල්කිස්ස සිට අඟුලාන දක්වා සිදු කිරීමට සැලසුම් සකස් කර තිබුණි. එහෙත් එම ප්‍රදේශ සඳහා පෝෂණය කළ යුතු වැලි ප්‍රමාණයන් සඳහා ඇස්තමේන්තු පවා සකස් කර නොතිබිණි.

මීට අමතරව 2017 දී ගංවතුර පාලනය සඳහා සිදුකළ කළුතර කැලිඩෝව කලුගංමෝය අසල වූ වෙරළ ඛාදනයට පිළියම් සඳහා එම කොටස් ස්ථාපිත කිරීමද මෙම ව්‍යාපෘතියට ඇතුළත් කර තිබුණි. ඒ අනුව ගල්කිස්ස – අගුලාන වැලි පෝෂණ ව්‍යාපෘතියේ ආවරණ කලාපය අඩුකොට කළුතර කැලිඩෝව වෙරළ සඳහා ද වැලි ප්‍රමාණයක් පෙරකී වැලි ඝන මීටර් 800,000න් බෙදා වෙන් කිරීමට සිදුවිය. මින් ගම්‍ය වනුයේ වැලි පෝෂණ ප්‍රදේශවල සැබෑ අවශ්‍යතාවයන් හා ප්‍රමාණයන් නිවැරදිව හඳුනා ගැනීම හා ඇස්තමේන්තු සකස් කිරීම කර නොමැති බවය. ව්‍යාපෘති විස්තරය ඇස්තමේන්තු ගත වැලි පෝෂණ අවශ්‍යතාව කොන්ත්‍රාත් මිල ගණන් කැඳවීමේ දී විශාල ප්‍රමාණයකින් වෙනස් කර දක්වා තිබුණි.

ගල්කිස්ස හා කළුතර වැලි පෝෂණ ක්‍රියාවලිය සඳහා පිරිවිතරයට අනුව භාවිතා කළ යුතු ක්‍රමවේදය pumping and speeding ය. එහෙත් සිදුකර තිබුණේ ගල්කිස්ස සඳහා sand ending ක්‍රමය හා කළුතර සඳහා direct placements ක්‍රමයයි.

ඕනෑම ව්‍යාපෘතියක් නොව ගෙදර දොරේ කුඩා කටයුත්තක් වෙනුවෙන් වුවද ඇගයීමක්, පසු විපරමක් කිරීම සාමාන්‍ය සිරිතයි. මෙම ව්‍යාපෘතිය ඇරඹීමට පෙර හා පසු තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පහසුවෙන්ම කල හැකිව තිබුණි. එහෙත් පරිගණක දත්ත පදනම් කරගෙන වෙරළ තීරයන් වෙත ප්‍රේෂණය කර ඇති වැලි ප්‍රමාණයේ නිරවද්‍යතාව ප්‍රමාණාත්මකව විමසා බැලීමක් මෙහිදී සිදුකර නොතිබුණි.

ගල්කිස්ස හෝටලය අසල ස්වභාවික පිහිනුම් තටාකය විනාශ වී යාම ඉන් සිදුවූ බලවත්ම හානියයි. මන්ද මෙවැනි ස්වභාවික සම්පත් මුදල් කොපමන මුදල් සම්භාරයක් වැය කළද නැවත ඉදිකළ නොහැකි බැවිණි. මන්ද සොබාදහම අල්ලස් ගන්නේ නැත. වැලි පුරවා ඇති ප්‍රදේශවල විශාල ආනතියක් පැවතීමෙන් බෝට්ටු පෙරළීම හා මාදැල් ධීවර කටයුතු වලට බාධා වීම දෙවැන්නයි. වැලි පෝෂණය සිදුකළ ස්ථානවලින් වැලි විශාල වශයෙන් මුහුදට ගසා ගෙන යෑම තවත් ප්‍රතිඵලයකි. වෙනත් වෙරළ තීරයන් වළ වැලි විශාල වශයෙන් ගොඩ ගැසී තිබුණි. නැවත එම ස්ථාන වෙරළ ඛාදනය වී පෙර පැවති තත්ත්වයට පත්විය. මෙසේ මහජන මුදල් සම්භාරයක් දේශපාලකයන්ගේ හිතුවක්කාර හා අත්තනෝමතික තීරණ නිසා නිකරුණේ  මුහුදට සෝදා හරිමින් දකුණු කොළඹ වැලි පෝෂණ ව්‍යාපෘතිය නිමා විය. දේශපාලකයන්ගේ පෞද්ගලික න්‍යායපත්‍රයන්ට අනුව කටයුතු කිරීමට තම දැනුම හා අත්දැකීම් වලින් ලත් පරිණතභාවය හෑල්ලු කරන රාජ්‍ය නිලධාරීන් තමන් ලත් නිදහස් අධ්‍යාපනයට ණය නොවේද?? මහජන මුදලින් ලබන වැටුපට ණය නොවේද??

ගම්පහ – චම්පිකා මුතුකුඩ