hit counter

2024 දෙසැම්‍බර් මස 03 වන අඟහරුවාදා

2022 ජූනි 16, පෙ.ව. 11:08



විශාලත්වයෙන් ලොව හත් වෙනි ස්ථානයෙහි සිටින ඉන්දියාව බිලියන 1.18ක ජනගහනයකින් යුතු රාජ්‍යයකි. ඉන්දියාවට සාපේක්ෂව බටු ගෙඩියක් තරම් වන ලංකාව පාලනය කිරීමට ඉතා අසීරු රාජ්‍යයකි. පළාත් සභා නවයකින්ද, ඒ මදිවාට මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා හරහා ලංකාවේ පාලනය විමධ්‍යගත කර ඇත්තේ එහෙයිනි. මේ ආයතන ජනතා මුදල් රිසිසේ කාබාසිනියා කරමින් රටට ඉසිලිය නොහැකි බරක් වෙමින් පවතී. බස්නාහිර පළාතේ ගම්පහ මහ නගර සභාවද එවැනි අතපසුවීම්, අමතකවීම්, වැරදීම් වලින් ගහන ආයතනයකි.

2019 වියදම් වර්ෂයේ ගබඩා භාණ්ඩ තොග නිකුත් කිරීම රුපියල් 37,497,952ක් වුවද, එය මූල්‍ය ප්‍රකාශන වල සටහන් කෙරෙන්නේ රුපියල් 923,248ක් වැඩිපුරය. එනම් රුපියල් 923,248ක් බහිරවයා විසින් ගිල දමා තිබේ. සේවකයන් තිස් නව දෙනෙකුගේ වැටුප් රහිත නිවාඩු වෙනුවෙන් 2019 වර්ෂයේ අයවිය යුතු වූ රුපියල් 1,74,261 මුදලක් නොසලකා හැර ඇත.

නිශ්චිතව හදුනා නොගත් 2018 වර්ෂයේ ප්‍රාග්ධන වැය විෂයයන් හතක හා 2019 වර්ෂයේ විෂයයන් 136 ක ප්‍රතිපාදන ඉතිරි වීම් රුපියල් .310,991,646ක් නිසි පරිදි ගිණුම් ගත කර නැත. පුස්තකාල පොත් මිලදී ගැනීම වෙනුවෙන් ගෙවූ ලක්ෂ පහමාරකට ආසන්න මුදලක්ද මෙසේ නිසි ලෙස ගිණුම් ගත වී නැත.

හෙළ බොජුන් හළක් ඉදිකිරීම හා යක්කල සාප්පු සංකීර්ණය ඉදිකිරීම වෙනුවෙන් රුපියල් 131,938,000ක් වෙන්කර තිබුණේ ගිවිසුම්ගත වීමටත් පෙරය. එසේ තිබියදීත් විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ නැවත රුපියල් 138,431,465ක් ගෙවීමට නියමිත බව සටහන් විය. භාවිතයෙන් ඉවත් කළ පුස්තකාල පොත්වල වටිනාකම රු. එක්ලක්ෂ හැට දහස ඉක්මවන මුදලකින් වැඩිපුර  පෙන්වා ඇත.

නගර සංවර්ධන ව්‍යාපෘතියේ කඩ කාමර සදහා හිඟ කුලී දඩ මුදල් රුපියල් 9,71,900ක මුදලක් අතුරුදහන් වී ඇත. එම වර්ෂයේ මිලට නොගන්නා ලද භාණ්ඩ 21ක් හා උපකරණ දෙකක් වෙනුවෙන්ද ගෙවීම් කර ඇත.

ව්‍යාපෘති සදහා මිලදී ගැනීම්, පරිභෝජන ද්‍රව්‍ය මිලට ගැනීම්, වාහන අලුත් වැඩියාව සදහා අයිතම මිලට ගැනීම්, network system මිලට ගැනීම් වාර දෙක බැගින් ගිණුම්ගත කිරීම මගින් විශාල මුදලක් අපයෝජනය කර තිබේ. එසේම 2018 වසරේ  සිට 2019 වසරට යනවිට  පසුගිය වසරේ ඉතිරි රුපියල් 1,389,416ක් අතුරුදහන් වී තිබේ.

ගම්පහ මහ නගර සභාවට අයත් සිනමාහල් හතරකින් 2010 වර්ෂයේ සිට බදු අයකරගෙන නොතිබුණි. හිග බදු වල වටිනාකම 2019 වන විට රුපියල් 5,463,439කි. පුදුම සහගත කාරණය වන්නේ ඉන් හතරෙන් එකක් වසර දහයක්ද, හතරෙන් දෙකක් වසර පහක්ද ඉක්මවා තිබීමයි. ඉතිරියද වසර දෙක ඉක්මවා හිග මුදල් ගෙවිය යුතු වේ. ගිණුම් වල රුපියල් 76,639,470ක වෙනසක් තිබේ.

මේ මුදල් වලට සිදු වූයේ කුමක්ද????

වසරේ සිට වසර දහය පවා ඉක්මවූ හිග වරිපනම් මෙන්ම, හිග බලපත්‍ර ගාස්තු, වසර පහක් දක්වා හිගව පවතින ව්‍යාපාර බදුද අයකර ගැනීමට සභාව විසින් පියවර ගන්නේ කවදාද???

2019 වන විට ගම්පහ නගර සභා සීමාව තුළ දුරකථන කුළුණු 12ක් හා සේවා ජාල තුනක් විය. ඉන් කුළුණු හයක වටිනාකම පවා තක්සේරු කර නොතිබුණි. ඉතිරි හයෙන් හතරක් සදහා වරිපනම් අය වී නොතිබුණි. එනම් වරිපනම් අයකොට ඇත්තේ කුළුණු දොළහෙන් දෙකක් සදහා පමණි. එසේම වාහන නැවතුම් ස්ථාන පහකින් අයවිය යුතු රුපියල් 1,641,426ක්  අයකර ගැනීමට නගර සභාවට අමතකව තිබුණි. 2019 වසර අවසන් වන විට ගම්පහ තානායමෙන් පමණක් ලැබිය යුතු හිග මුදල රුපියල් 3,453,276 කි. 2015, 2016 වර්ෂ සදහා ලැබිය යුතු මුද්දර ගාස්තු රුපියල් 2,139,880 ක් අහිමිව ඇත්තේ 2010, අංක හතර දරණ බස්නාහිර පළාත් මුද්දර ගාස්තු පැවරීමේ ප්‍රඥප්තියේ දෙවන වගන්තිය අනුව වසර තුන ඉක්මවා යන බැවිණි.

2019 වසර සදහා සකස්කළ ක්‍රියාකාරී සැලැස්මේ අරමුණු 48න් අරමුණු 22ක් ඉටුකරගැනීමට සභාව අපොහොසත් වී ඇත. ජංගම වෙළදසැල් ප්‍රවර්ධනය, කාන්තා ආර්ථිකය දිරිගැන්වීම සදහා කෝමාරිකා වගාව, යක්කල-ගම්පහ නගරවල ගැමි ආහාර නිෂ්පාදන අලෙවි කිරීමට වෙළදපොල නිර්මාණය මෙසේ ඉටුකර නොගත් අරමුණු වේ. මිනුවන්ගොඩ පාර රාත්‍රී අලෙවිසල හා යක්කල බහුකාර්ය ඉදිකිරීමේ ව්‍යාපෘතිය වාර්ෂික අයවැය මගින් ප්‍රතිපාදන නොලැබීම නිසා වැඩකටයුතු ඇණහිට තිබුණි.

ප්‍රජාමණ්ඩල සදහා ආධාර  දීමට හා දහම් පාසල් දියුණු කිරීමට මුදල් මහා පරිමාණයෙන් වෙන්කර තිබුණද සුදුසු සැලැස්මක් නොවූයෙන් එයද සාර්ථක වී නොමැත. නගර සභා පරිශ්‍රයේ හෙළ බොජුන් හල 2019 දෙසැම්බර් 31 වැඩ අවසන් කළ යුතුව තිබුණද  එයද ඉටු නොවීය. රජයේ ප්‍රසම්පාදන කාර්ය  පටිපාටියෙන් බැහැරව කසළ බැහැරලීමට පෞද්ගලික  කොන්ත්‍රාත්කරුවෙකු යොදාගෙන තිබූ අතර අවම වශයෙන්  ඔහු සමග සේවා ගිවිසුමකට හෝ එළඹ නොතිබුණි.

කසළ බැහැර කිරීමට මිනුම්ගත ක්‍රමයක්ද භාවිතා නොකොට ලෝඩ් එකකට රුපියල් 30,000 ක් ලෙස එකගතාවයකට අනුව ගෙවීම් කර තිබේ. එසේම එම බැහැරලන කසළ පරිසරයට හා සෞඛ්‍යයට අහිතකර වන ලෙස කදු ගසා තිබුණි. එම කසළ බැහැරලන ස්ථානයට පරිසර බලපත්‍රයක් ලබාගෙන නොතිබුණි. සෞඛ්‍යාරක්ෂිත බව පිළිබදව සුපරික්ෂාකාරී වන ලෙස හා ඒ පිළිබද වාර්තා කරන ලෙස ගම්පහ මහාධිකරණය විසින් පනවන ලද නියෝගයද සභාව මගින් නොසලකා හරිමින් කර ඇත්තේ අධීකරණයද හෑල්ලුවට ලක් කිරීම නොවේද???

සූප ශාස්ත්‍ර වැඩමුළුවක්, ජනාවාස නාගරීකරණය හා සභාව සතු ක්‍රීඩා පිටි නඩත්තුව සදහා අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන ලදනමුත් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කර නැත. ගම්පහ රෝහල් සංකීර්ණයේ රුපියල් 2,000,000 ක වියදමින් ඉදි කරන ලද පොදු වැසිකිළි පද්ධතිය 2020 අග භාගය වනතුරුත් මහජන ප්‍රයෝජනයට නොදී ඉබි යතුරු ලා තිබිණි. 

නගර සංවර්ධන ව්‍යාපෘතියේ කඩ කාමර 65කින් අයවිය යුතුව තිබූ හිග ආදායම වූ රුපියල් 24,384,422 අයකර ගැනීමට සභාවට කිසිදු ඕනෑකමක් නැත. එසේම කුලියට දුන් විවිධ කඩ කාමර 150වෙනුවෙන් කිසිදු ගිවිසුමක් නැත. 2019 අවසන් වන විට නගර සභාව සතු මාර්ග ප්‍රමාණය කි. මී 2249කි. එහෙත් ඒවා ගැසට් කර පවරා ගැනීමට හෝ පිඹුරුපත් සකස් කිරීමට සභාව අපොහොසත්‍ ය. පළාත් පාලන අමාත්‍යාංශයෙන් 2015දී ලත් වාහන තුනක් පවරා ගැනීමට කටයුතු නොකිරීම, වසර 14ක සිට ක්‍රියාත්මක වූ ජීව වායු නිපදවීමේ ව්‍යාපෘතියේ නිසි ඵල නොගැනීම, කඩ කාමර 32කින්  ප්‍රයෝජන නොගෙන වසා තැබීම සභාවේ නොහැකියාව හෙළිදරව් කරයි.

2019 ජනවාරි 21 දින මන්ත්‍රී ප්‍රතිපාදන වලින් මිලට ගෙන තිබූ උදලු තල 104ක් 2020 ජුනි  වනවිටත් ගබඩාවේ මුල් අදිමින් තිබුණි. ගම්පහ මහ නගර සභාව සතු පොදු ඉඩම් 99න් 60 සදහාම කිසිදු ඔප්පුවක් නැත. සුසාන භූමි වල් බිහිවී අහය භූමි බවට පත් වී තිබු අතර වැට මායිම් තබා නාම පුවරුවත් දක්නට නැත.

නාගරික ලේකම් තනතුරද, අදායම් පරීක්ෂක තනතුරද හිස්ය. කලමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමත ප්‍රාථමික පුරප්පාඩු 49ක් සදහා සේවකයින් 104ක් ව්‍යාපෘති පදනම මත බදවාගෙන 2019 අවසන් වන විට රුපියල්  26,511,440 මුදලක් කාබාසිනියා කර දැමීමට සමත් වී තිබේ. සේවකයන් 39 දෙනෙකු එම වර්ෂයේ වැටුප් රහිත නිවාඩු දින 1177  1/2 ලබාගෙන සභාවේ ඵලදායීතාවය මනාව පෙන්වා දී ඇත. වසර 10ට වැඩි විශ්‍රාමික, ස්ථාන මාරු ලද,  විදුලිබල මණ්ඩලයේ සේවයට අනුයුක්ත වූ පිරිසකගෙන් රුපියල් 308,784ක ණය ශේෂ අයකර ගැනීම සභාව අතපසූ කර තිබේ. ඇප මුදල් තැන්පත් කළ යුතු  සේවකයන් 34 දෙනෙකුගෙන් ඇප මුදල් ලබා නොගෙන, ලබාගත් 12දෙනාගෙන්ද ලබාගත් මුදල් ගිණුම් වල සටහන් කර නැත. මහ නගර සභාව සතු ඇතැම් වාහන ලේඛන ගත කර නැත. නගර සභා කම්කරුවන්ගේ නිල නිවාස වලින් කුලී අයකර නොගන්නා නගර සභාව නිවාස තුනක් බාහිර පුද්ගලයන්ට ලබා දී තිබේ.

2005-2016 සේවකයන් 72 දෙනෙකුගේ අර්ථසාධක අරමුදලට ගෙවිය යුතු මුදල් නිසි සේ නොගෙවීම නිසා රුපියල් 1,635,637 ක් වැඩිපුර ගෙවීමට සිදුවිය. නිල නිවාස හිමිකම් නොමැති ගණකාධිකාරීවරයා සදහා රුපියල් 100,000 අත්තිකාරම් මුදලක්ද, මාසිකව රුපියල් 22000ක්ද, බැගින් රුපියල් 3,30,000 ගෙවා නිවසක් කුලී පදනමට ගෙන ඇත්තේ අනුමැතිය ලැබීමටත් පෙරය.

මහා භාණ්ඩාගාරයේ අනුමැතිය හා අනෙකුත් මාර්ගෝපදේශයන් අනුගමනය කළ යුතු දේ වුවත් මහා සභාවක තීරණයකින් පමණක් නගර සභාවට මෝටර් රියක් මිලටගෙන තිබේ.

රුපියල් 199,980කට ලබාගත් මල්පෝච්චි 6060කින් 5000ක් ගොවි සංවිධානයකට ලබා තිබුණද ඉන් පෝච්චි 3000 ක් මන්ත්‍රීවරයකු ගේ නිවසක තිබී හසුවිය. 2019 දී මිලට ගත් පුටු 150 ප්‍රජා මණ්ඩලයකට නිකුත් කළ නමුත් එවැනි සමිතියක් ලංකාවේ නොවීය. එම පුටුද පසුව මන්ත්‍රීවරයෙකුගේ නිවසක තිබී හසුවිය.

ගිවිසුම්ගත ව්‍යාපෘති 24ක වැඩ ආරම්භ නොකිරීමද, වැඩ කර අවසන් නොකළ ව්‍යාපෘති 19ක ගිවිසුම් දීර්ඝ නොකිරීමද  දැකියහැකි විය. 2008දී ඇරඹූ යක්කල සාප්පු සංකීර්ණය වෙනුවෙන් අවසන් බිල්පත ගෙවා තිබුණේ කළ වැඩ පිළිබද ඉන්ජිනේරු නිර්දේශයකින් තොරවය. නිසි අධීක්ෂණයක් නොවීම හා ගෙවීම් ප්‍රමාද වීම නිසා කාර්‍යයේ වටිනාකමට වඩා රුපියල් 5,402,892 වැඩිපුර ගෙවීමට නගර සභාවට සිදුවිය.

 

මේ අයවීමට ඇති හා අතුරුදන් වී ඇති සියළු මුදල් පොදු මහජනයාට අයත් මුදල් නොවේද??

මෙසේ  මහජන මුදල් කාබාසිනියා කිරීමට මහ නගර සභා 23ක්, නගරසභා 41ක් හා ප්‍රාදේශීය සභා ජනතාව විසින් නඩත්තු කළ යුතුද යන්න විමසා බැලිය යුතු කරුණකි. ගම්පහ මහ නගර සභාව බදු අකාර්යක්ෂම ආයතන මහ ජනතාව විසින් පළවා හරින දිනය වැඩි ඈතක නොවේ.

ගම්පහ – චම්පිකා මුතුකුඩ

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: