hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 02, පෙ.ව. 11:05



වෛද්‍ය සැපයුම් අංශය තුල සහ රෝහල් තුල වැදගත් හා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 241ක් හා ශල්‍ය ද්‍රව්‍ය වර්ග 4880ක් හිඟයක් මෙම වර්ෂයේ මැයි මස 13 වැනි දින වනවිට පැවති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වනවා.

එමෙන්ම වෛද්‍ය සැපයුම් අංශය තුල හා රෝහල්වල නිතිපතා භාවිතයට ගන්නා රසායනාගාර ද්‍රව්‍ය 850ක් හා එක්ස්රේ අයිතම් 18ක හිගයක් පැවතුණා. මෙදිනට වෛද්‍ය සැපයුම් අංශය තුල හිඟව පැවති වැදගත් හා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග  සංඛ්‍යව190ක්. රෝහල් තුල ද වැදගත් හා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 51 හිඟයක් පැවති බව විගණන වාර්තාවේ සදහන්.

වෛද්‍ය සැපයුම් අංශය තුල වැදගත් හා අත්‍යවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය 2724ක සහ රෝහල් තුල වැදගත් හා අත්‍යවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය අයිතම් 2156ක හිඟයක් තිබිණි.

මේ ඖෂධ මාසයක් ඇතුළත ඉවරයි

එමෙන්ම මැයි මස 13 වැනිදින වනවිට මාසයකටත් වඩා අඩුකාලයක් සඳහා පමණක් ප්‍රමාණවත් ව ඇත්තේ වැදගත් ඖෂධ   වර්ග 14කින් 06ක් හා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 646කින් 104ක් හා අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග 486කින් 45ක් බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.  

මාසයකටත් වඩා අඩුකාලයක් සඳහා ප්‍රමාණවත්ව ඇති ශල්‍ය අයිතම් සංඛ්‍යාව 1102ක් වන අතර රසායනාගාර අයිතම් 385ක්  බවද විගණන වාර්තාවේ සදහන්.

එමෙන්ම රෝග කාණ්ඩ 15ක් සදහා භාවිතයට ගන්නා වැදගත් හා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 179ක් වෛද්‍ය සැපයුම් අංශය තුල හිඟව පවතින අතර සෞඛ්‍ යආයතන තුල හිඟව පවතින වැදගත් හා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සංඛ්‍යාව  43ක්.

ආසාදන, හෘද, ස්නායු, ස්වසන, ආමාශ, ඇස, කණ, නාසය, පිලිකා, ප්‍රසව හා නාරිවේද මුත්‍රා ආබාධ, මාංශපේශි හා සන්ධිරෝග වැනි රෝග සදහා භාවිතා කරණ ඖෂධ වර්ග හිඟව පවතිනවා.

පිළිකා රෝග ඖෂධත් නෑ

එමෙන්ම අන්තරායකර ඖෂධ, පෝෂණ හා රුධිරයට බලපාන ඖෂධ ප්‍රතිශක්තිකරණ හා නිෂ්පාදන එන්නත්, අන්තරාසර්ග පද්ධතිය ආශ්‍රිත ප්‍රථිකාර, නිර්වින්දන, ප්‍රති විරෝධක සදහා භාවිතයට ගන්නා ඖෂධ වර්ගවල හිඟයක් පවතින බවද විගණන වාර්තාවේ දැක්වෙනවා. පිලිකා රෝග සදහා භාවිතා කරණ ඖෂධ වර්ග 85කින් 41ක් හිඟයක් පවතිනවා.

නිර්වින්දන කටයුතු සදහා භාවිතාකරණ Suxamethonium chloride එන්නත වෛද්‍ය සැපයුම් අංශය තුල ඇත්තේ සති 02කටත් අඩුකාලයක් සදහා පමණයි. 

රෝහල් තුල මාස 02කටත් වඩා අඩුකාලයක් සදහා තොග පැවතුණා. අසාත්මිකතාවන් සඳහා භාවිතාකරණු ලබන අත්‍යවශ්‍ය ඖෂධයක් වන Cetirizine HCL සිරප් ඖෂධයේ තොග මෙම වර්ෂයේ අප්‍රේල් මස 22 වනවිට වෛද්‍ය සැපයිම් අංශය තුල  අවසන් වි තිබුණා.

රෝහල් සඳහා සති 05කට ප්‍රමාණවත්ව මෙම ඖෂධය පැවති අතර 2022 වර්ෂයේ මැයි මස 02 වැනිදින වනවිටත් 2022 වර්ෂය සඳහා මෙකී ඖෂධය වෛද්‍ය සැපයිම් අංශය විසින් ඇණවුම් කර තිබී නෑ. මෙකී ඖෂධය වැඩි වශයෙන් කුඩා දරුවන් සඳහා භාවිතා කරණු ලබන අතර මෙම වර්ෂයේ අප්‍රේල් මස 22 වනවිට කාසල් විදිය කාන්තා රෝහල, කුරුණැගල ශික්ෂණ රෝහල සහ බදුල්ල මහ රෝහල් යන රෝහල්වල මෙකි ඖෂධය නොතිබු බවද විගණන වාර්තවේ සදහන්.

අත්‍යවශ්‍ය ජිවිතාරක්ෂක ඖෂධයක් වන Meropenem 1g එන්නත ඇණවුම් කිරිමේ දී ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ නිවැරදි ලෙස තීරණ නොගැනිම හා නිවරදි ලෙස සැලසුම් නොකිරිම හේතුවෙන් මෙකී ඖෂධය වෛද්‍ය සැපයිම් අංශය තුල හා රෝහල් තුල පැවතියේ මාසයකටත් වඩා අඩුකාලයක් සඳහා පමණයි.

අධික මිලකට ඖෂධ මිලට අරන්

එමෙන්ම මෙකී ඖෂධය රුපියල් 481කට මිලදි ගැනිමට හැකිව තිබූ බවත් එහෙත් ප්‍රමාදය හේතුවෙන් මෙම ඖෂධය 2021 වර්ෂයේ දී රජයේ රෝහල් විසින් ඒකකයක් රුපියල් 1956ත් 4697 අතර වු විවිධ මිල ගණන් යටතේ රුපියල් මිලියන 49.52ක් වැයකොට දේශිය වෙළදපොළෙන් ඉතා ඉහල මිලකට මිලදිගෙන තිබෙනවා.

ජලභිතිකා රෝගයට නිරාවරණය වු රෝගීන්ට ලබාදෙන වැදගත් ඖෂධයක් වන Anti Rabies Serum අයිතමයේ තොග වෛද්‍ය සැපයිම් අංශය තුල අවසන් වී තිබුණා. රෝහල් සදහා මෙකී ඖෂධය පැවතියේ මාසයකටත් අඩු කාලයක් සදහා පමණක් බවයි වාර්තා වන්නේ.

මෙකී ඖෂධය හිඟවිමට හේතුව විනිමය හිඟය නොව ප්‍රසම්පාදන ගැටළු බව නිරික්ෂණය වී ඇති බැව් විගණන වාර්තාවේ සදහන්. මෙකී ඖෂධය සදහා 2020 වර්ෂයේ දී ඇණවුම් ඉදිරිපත් කොට මාස 07කට පසු වෛද්‍ය සැපයුම් අංශය මගින් එය අවලංගු කොට තිබෙනවා. 2021 හා 2020 වර්ෂ සදහා ඇණවුම් ඉදිරිපත්කොට නොතිබී ඇති අතර 2019 වර්ෂය සදහා 2018 වර්ෂයේ දී ඉදිරිපත් කළ ඇණවුම 2022 වර්ෂයේ ජනවාරි මස නැවතත් සංශෝධනය කොට ඉදිරිපත්කොට තිබෙන බව අනාවරණය වී තිබෙනවා.

වෛද්‍ය සැපයුම් හිඟය ඇතිවිමට ආසන්නම හේතුව විනිමය හිඟය බව සැබැවක්. එහෙත් වෛද්‍ය සැපයුම් කළමණාකරණය ස සඳහා ස්ථාපිතකර තිබු පරිඝණක පද්ධතිය නිසි ලෙස යාවත්කාලීන කර නොතිබු අතර එය නිසි ලෙස භාවිතයට ගෙන නොතිබූ බවද අනාවරණය වී තිබෙනවා.

ඖෂධ ඇනවුම් කළ හැටි

ඖෂධ ඇණවුම් කිරිමේ කාර්යේ දි සෞඛ්‍ය අමාත්‍යංශය රාජ්‍ය අමාත්‍යංශය වෛද්‍ය සැපයිම් අංශය ශ්‍රිලංකා රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව, ශ්‍රිලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, යන රාජ්‍ය ආයතන අතර මනා සම්බන්දතාවයක්  සම්බන්ධීකරණයක් තිබී නෑ. මෙකි ආයතන විසින් ඇණවුමට අදාල කටයුතු හුදකලාව සිදුකරමින් පැවති බව විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.

වෛද්‍ය සැපයුම් කළමණාකරණ ක්‍රියාවලිය වඩා යහපත් ලෙස සංවිධානය කරගැනිමට හා රජයේ රෝහල්වලට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග අඛණ්ඩව සැපයිම සඳහා වෛද්‍ය සැපයුම් කළමණාකරණ පද්ධතියක් පවත්වාගෙන යාම සදහා රුපියල් රුපියල් මිලියන 191.7ක් වැයකොට තිබෙනවා. මෙකී තොරතුරු පද්ධතිය මගින් අමාත්‍යංශය යටතේ ඇති රෝහල් හා ආයතන 55කට ප්‍රාදේශිය ඖෂධ ගබඩා 26කට ජාතික ඖෂධ නියාමන අධිකාරියට ජාතික ඖෂධ තත්තව පාලන රාසායනාගාරයට හා  රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවට සම්බන්ද කර තිබෙනවා.

වෛද්‍ය සැපයුම් ඇණවුම් කිරිමේ සිට නිකුත් කිරිම දක්වා වු සමස්ත ක්‍රියාවලිය මෙකි පරිගණක පද්ධතිය මගින් පවත්වාගෙන යමින් කළමණාකරණය කිරිමට අපේක්ෂාකොට තිබෙනවා. 2017 වර්ෂයේ දී එම පද්ධතිය මුලික රෝහල් දක්වා ව්‍යාප්ත කර තිබුණා. 

වෛද්‍ය සැපයුම් අංශය මගින් ඒ ඒ වර්ෂයට අදාල ඇණවුම් ලැයිස්තු මාස 11ක සැපයුම් කාලයක් සහිතව මෙකී පරිගණක පද්ධතිය හරහා ශ්‍රිලංකා රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව වෙත ඉදිරිපත් කරණු ලබනවා. එහෙත් සංස්ථාව විසින් වහාම එම ඇණවුම්වලට අදාල ප්‍රසම්පාදන කටයුතු ආරම්භකර තිබී නෑ. ඇනවුම් ලැයිස්තුවේ ඇනවුම්වල ලිඛිත පිටපත් සංස්ථාවේ ආනයන අංශයට එවිමට දින 18කට වඩා වැඩිකාලයක් ගතවි තිබෙනවා. මේ නිසා මාස 11ක සැපයුම් කාලසිමාවෙන් සැලකිය යුතු කාලයක් ඇණවුම් නිකුත් කිරිමේ හා ඇණවුම් ලබාගැනිමේ ක්‍රියාවලිය සඳහා ගතකර තිබෙන බව අනාවරණය වී තිබෙනවා.

තාක්ෂණික දෝෂය නිවැරදි කර නෑ

ඖෂධ ඇණවුම් කිරිමේ සිට තොග ලැබෙන අවස්ථාව දක්වා එක් එක් පියවර පද්ධතියට ඇතුලත්කර අදාල ඇණවුම් සම්බන්ද ප්‍රගතිය යාවත්කාලින කිරිමේ පහසුකම් පරිගණක පද්ධතිය මගින් අදාල ආයතන වෙත ලබාදී තිබුණා.

එහෙත් රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ නිලධාරින් විසින් ඇණවුමට අදාල තොරතුරු වසර 07ක කාලයක් තිස්සේ පැවති තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් පද්ධතියට ඇතුලත් කිරිමට කටයුතු කර නොතිබුණි. එහෙත් එම තාක්ෂණික දෝෂය නිවැරදි කරගැනිමටද කටයුතු කර නොතිබු බව විගණන වාර්තාවේ සදහන්.

එමෙන්ම වැදගත් ඖෂධයක් ලෙස සැලකෙන ඖෂධ වර්ග 08කට හා අත්‍යවශ්‍ය ඖෂධවලට අදාල ඇණවුම් 90කින් 41කට අදාල ඇණවුම් ලැයිස්තු වර්ෂයේ මුල්මාස දෙක තුල පරිගනක පද්ධතිය මගින් ශ්‍රිලංකා රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව වෙත නිකුත්කොට තිබුණා. කෙසේවුවද එම ඇණවුම් ලැයිස්තුවල ලිඛිත පිටපත් රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ ආනයන අංශයට ලැබිමට දින 18ක් හා මාස 06 කාලයක් ගතවි තිබුණා.

වෛද්‍ය සැපයුම් අංශය මගින් ඊළග වර්ෂය වෙනුවෙන් ඇණවුම්කරණ 13000ක් පමණ වන වෛද්‍ය සැපයිම් අයිතම්වල ප්‍රගතිය අධික්ෂණය කිරිීමට වසර ගණනාවක සිට ප්‍රමාණවත් පියවරගෙන නොතිබුණි.

වෛද්‍ය සැපයුම් අංශය විසින් මාස 11ක සැපයුම් කාලයක් සහිතව ශ්‍රි ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත 2021 හා 2022 වර්ෂයන් වෙනුවෙන් ඇණවුම් නිකුත්කොට තිබුණා. එහෙත් විගණන දිනය වනවිටත් ඇණවුම් 27කට අදාල  ප්‍රසම්පාදන කටයුතු අවසන් කිරිමට අදාල නිලධාරින්ට නොහැකිවි තිබූ බවයි හෙළිදරව් වී තිබුණේ.

2021 වර්ෂය සදහා වැදගත් ඖෂධ වර්ග 11කට අදාලව 2020 වර්ෂයේ දි සහ 2022 වර්ෂය අදාල වැදගත් ඖෂධ 19කට අදාල ඇණවුම් 2021 වර්ණෂයේ දි ශ්‍රිලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත නිකුත්කොට තිබුණා. ඉන් ඇණවුම් 04කට අදාල කුඩා තොග ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් අංශය වෙත ලැබි තිබුණා. අනෙක් සියලු ඇණවුම් ප්‍රසම්පාදන ගැටළු හෝ  ප්‍රසම්පාදන ප්‍රමාදයන් හේතුවෙන් තොග ලැබි නොතිබුණා.

ප්‍රසම්පාදන කාලසටහනට කටයුතු කර නෑ

2020 හා 2021 යන වර්ෂයන් සදහා වෛද්‍ය සැපයුම් අංශය විසින් නිකුත්කොට තිබු ඇතැම් ඇණවුම්වල ප්‍රසම්පාදන කටයුතු සඳහා මාස 12ක් හා 24 කාලයක් ගතකර තිබුණා.

එමෙන්ම ශ්‍රි ලංකා රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව වෙත නිකුත්කරණ ඇණවුම්වල ක්‍රියාකාරිත්වය හා ප්‍රගතිය නිරන්තරයෙන් අධික්ෂණය කිරිමේ ක්‍රියාවලියක් පසුගිය වර්ෂ ගණනාවක සිට පවත්වාගෙන ගොස් නොතිබුණි. ප්‍රසම්පාදන කාලසටහනට අනුව කටයුතු නොකිරිම ඖෂධ හිගය ඇතිවිමට ප්‍රධාන වශයෙන් හේතුවිය.

2022 වර්ෂයේ මැයි මස 13 වැනිදින වනවිට හදුනාගෙන තිබු හිඟ ඖෂධ සපයා ගැනිම සඳහා ඉන්දියානු ණය ආධාර ක්‍රමය, ලෝක බැංකුණය ආධාර ක්‍රමය හා ආසියානු සංවර්ධන බැංකුණය ආධාර ක්‍රමය යටතේ ඩොලර් මිලියන 244ක් අනුමත කොට තිබුණා.

ඉන්දියානු ණය පහසුකම් යටතේ ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධ මිලදී ගැනිමට නිර්දේශකොට තිබුණා. ඒ සදහා ලබාදි තිබු ණය ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 200ක්. කෙසේවුවද අප්‍රේල් මස 22වැනිදින වනවිටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ  ඖෂධ උප කමිටුව විසින් ඩොලර් මිලියන 55.5ක පිරිවැය වු වෛද්‍ය සැපයිම් තොග සදහා පමණක් නිර්දේශ ලබාදි තිබුණා.

වෛද්‍ය සැපයිම් අංශය වෙනුවෙන් ඖෂධ නිකුත්කරනු ලබන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔසුහල් සඳහා වෙන්කළ ණය ආධාර මුදලින් සියයට 91ක් හෙවත් ඩොලර් මිලියන 114.6ක් උපයෝජනය කර නොතිබූ බව අනාවරණය වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: