hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 29, පෙ.ව. 10:02



ශ්‍රී ලංකාවේ පළාත් සභා සම්බන්ධව ජනතාවට ඇත්තේ අප්‍රසන්න අත්දැකීම් ගොන්නකි. මෙම අප්‍රසන්නතාවයට මූලිකවම හේතුව වූයේද රටේ මහජනතාවගේ මුදල් නිළධාරීන්ගේ අවශ්‍යතාවය අනුව කිසිදු හිරිකිතයකින් තොරව නාස්ති කිරීමයි. පළාත් සභා විසුරුවා හැර ඇති මෙවන් යුගයක පවා ඇතැම් දේශපාලකයන් සහ නිළධාරීන් ඔවුන්ගේ මෙම ක්‍රියාවන් අඩුවක් නැතුව සිදු කරගෙන යයි. මේවාට වන්දි ගෙවීමට සිදුවන්නේ ද මේ රටේ අසරණ ජනතාවටය. මේ පිළිබඳව වර්ෂ 2022 විගණකාධිපති වාර්තාව මගින් ද සනාථ කර ඇත.

ආයතන තුනක් සඳහා පරිත්‍යාග වශයෙන් ලැබී තිබුණු රුපියල් 22,694,340ක වත්කම් සහ ආයතන තුනක් විසින් දරා තිබූ රුපියල් 10,332,113 ක  ප්‍රාග්ධන වියදම් දකුණු පළාත් සභාව විසින් 2022 වර්ෂයේ ගිණුම් ගත කර නැත.

ආණ්ඩුකාරවරයාට ලබාගත හැකි උපරිම මාසික ඉන්ධන ප්‍රමාණය / දීමනාව පිළිබඳව සලකා බැලීමකින් තොරව අතිරේක ඉන්ධන ලීටර් 4317.50  වෙනුවෙන්  රුපියල් 742,582 ක් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයෙන් ගෙවීම් කර ඇත . එමෙන්ම  චක්‍රලේඛයට අදාළ නොවන ලෙස ආණ්ඩුකාරවරයාට අමතර ටොයෝටා ජීප් රියක් ද වෙන්කර දී තිබේ.

2010 අගෝස්තු 09 වන දිනැති දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ගේ අංක G/SP/1/57 වෙළුම 1 දරන ලිපිය  ඉක්මවා 2020 අගෝස්තු මස සිට 2022 ඔක්තෝබර් දක්වා සභාපතිවරයාට නිවසක් කුලියට ගැනීම වෙනුවෙන් රුපියල්  1,350,000 දීමනාවක් ගෙවා ඇත.අනුකූල නොවන ලෙස ගෙවන ලද මුදල් අයකර ගැනීම රජයේ වගකීමකි .

චක්‍රලේඛ  ප්‍රකාරව ඩීසල් වාහන සඳහා ඉන්ධන ලීටර් 500 ක හිමිකම් තිබියදී දකුණු  පළාත් ආණ්ඩුකාරවරයාගේ 2019 ජුලි නව වැනි දින ඇති ලිපිය ප්‍රකාරව ඩීසල් වාහනයක් සඳහා ඉන්ධන ලීටර් 600 ක් ලබා ගැනීම නිසා 2019 ජූලි සිට 2022 සැප්තැම්බර් මස දක්වා ඩීසල් ලීටර 3900 ක් වෙනුවෙන් රුපියල් 708,000ක් දකුණු පළාත් සභාවේ සභාපතිවරයාට ගෙවා  ඇත. චක්‍රලේඛ උපදෙස් වලට අනුකූල නොවන ලෙස සුපිරි ඩීසල් රේටයන්  පදනම් කරගෙන රුපියල්   682,525ක් වැඩිපුර ගෙවා තිබුණි. සභාපතිවරයාගේ සම්බන්ධීකරණ හා මහජන සම්බන්ධතා  ලේකම්වරුන්ට 2019  ඔක්තෝබර් සිට 2022 ඔක්තෝබර් දක්වා මසකට රුපියල් 50,000 බැගින් රුපියල් 3, 700,000 මුදලක් වාහන දීමනාව ලෙස ගෙවා ඇත. නිල වාහනයක් සපයා නොතිබියදීත් 2019 අගෝස්තු සිත 2022 ඔක්තෝබර් දක්වා රුපියල් 2,516680ක් ඉන්ධන දීමනාව වශයෙන් ගෙවා තිබුණි.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය කඩ කරමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තනතුරක නිලධාරීන් දෙදෙනෙකුට 2019 මැයි සිට 2022 දෙසැම්බර් 31 දක්වා රුපියල් 2,483,595 ක ඉන්ධන දීමනා ගෙවා ඇත. 

සමුපකාර සේවක විශ්‍රාම වැටුප් අරමුදලේ  උපදේශක කාරක සභාපතිවරයාට, සාමාජික සාමාජිකයන් හය දෙනෙකුට හා කාර්ය මණ්ඩලයේ නිලධාරීන් දොළොස් දෙනෙකුට 2020 ජනවාරි සිට 2022 දෙසැම්බර් දක්වා රුපියල් 3045,421ක් විශ්‍රාම වැටුප් අරමුදලෙන් දීමනා ලෙස ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය මත පමණක් ගෙවා ඇත.

වාහන අළුත්වැඩියා සම්බන්ධව ද බොහෝ කරුණු අනාවරණය වී ඇත . එනම් ඇල්පිටිය මූලික රෝහලේ ගිලන් රථය සදහා 2022 අප්‍රේල් 11 වන දින රුපියල් 363,192 ක ඇස්තමේන්තුව අනුව , පෞද්ගලික ආයතනයක් වෙත අළුත්වැඩියාව සදහා ඉදිරිපත් කර ඒ සදහා 2022 මැයි 19 වන දින රුපියල් 362,753 ක බිල්පතක් ඉදිරිපත් කර ඇත .නැවත රථයේ දෝෂයක් හේතුවෙන් රුපියල් 651,019 ක ඇස්තමේන්තුවක් මත අළුත්වැඩියාව සදහා 2022 මැයි 25 දින එම ආයතනයටම භාරදී ඇත. එහෙත් එම අළුත්වැඩියාවෙන් පසුද රථයේ දෝෂය නිරාකරණය නොවූයෙන් නැවත 2022 නොවැම්බර් 28 දින රුපියල් 1,679,877 ක ඇස්තමේන්තුවක් මත නැවත එම ආයතනයටම භාරදී ඇත .නමුත් 2023 මාර්තු මස වනවිටත් ගිලන්රථය අළුත්වැඩියාවෙන් තොරව අදාළ ආයතනයේ තිබී ඇත.

මාර්ග සංවර්ධන අධිකාරියේ වාහන අළුත්වැඩියාව සදහා වෙනම ඒකකයක් පිහිටුවා ඇත. නමුත් 2022 වර්ෂය තුල, අධිකාරිය සතු වාහන භාහිර ආයතන වෙතින් අළුත්වැඩියා කිරීම සදහා රුපියල් 7,400,200 ක් වැයකර ඇත.

දිගින් මීටර් 80 ක් වූ දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය ඉදිරිපස පැති බැම්ම ඉදිකිරීම සදහා රුපියල් 38,634,000 කට ඇස්තමේන්තු කර තිබුණි. තෝරාගත් කොන්ත්‍රාත්කරු සමග 2021 අගෝස්තු 02 දින රුපියල් 37, 362,562 ක වටිනාකමකට ( වැට් රහිත) ගිවිසුම් ගත විය . ගිවිසුමට අනුව 2022 මාර්තු 30 වන දින වැඩ අවසන් කලයුතුව තිබිණ. නමුත් 2022 ජූලි 27 මෙම බැම්මේ කොටසක් පමණක් නිමකර වැඩ අවසන් කිරීමට තීරණය විය.නිමකළ වැඩ සදහා රුපියල් 15,655,317 ගෙවා දැමීය. පසුව ඉතිරි වැඩ සදහා රුපියල් 42,958,188 ක ක නව ඇස්තමේන්තුවක් දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන කාර්යාලය විසින් ඉදිරිපත් කරනු ලැබීය. මෙහිදී ඉහත පළමු කොන්ත්‍රාත්කරු සමගම රුපියල් 34,368,110 කට නැවත ගිගිවිසුමකට එළඹී ඇත. මෙහිදී දෙවන ගිවිසුම පරිදි රුපියල් 34,368,110 ක්ද , පළමු ගිවිසුමේ ඉටුකළ වැඩ සදහා රුපියල් 15,655,317 ක් සහ අමතර වැඩ සදහා 9,242,433 ක් ඇතුළුව රුපියල් 59,265,860 ක  මුළු පිරිවැයක් දැරීමට සිදුවීම මත පළමු ඇස්තමේන්තුවට වඩා රුපියල් 20,631,860 ක වැඩි පිරිවැයක් දැරීමට සිදුවී තිබීමෙන් රාජ්‍ය වියදම් නිසි පරිදි කළමනාකරණය කිරීමට රාජ්‍ය නිළධාරීන්ට ඇති හැකියාව පිළිබඳව ඔබට මනා අවබෝධයක් ලබා ගත හැක. 

තල්ගස්යාය තේ කර්මාන්ත ශාලාව පිහිටි ඉඩම වෙනත් පාර්ශවයකට පැවරීමට අදාළව වටිනාකම තක්සේරු කිරීමේ ක්‍රියාවලිය ඉතාමත්ම හාස්‍යජනකය. මෙහිදී පළමු තක්සේරු වටිනාකම රුපියල් 354,150,000 ක් විය. නමුත් අභියාචනා කල පසු තක්සේරු වටිනාකම රුපියල් 276,000,000 ක් විය. පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ සමාන ශ්‍රේණියක නිළධාරීන් දෙදෙනෙකු අවස්ථා දෙකකදී දෙනලද තක්සේරු වටිනාකම අතර රුපියල් 78,150,000 ක පරස්පරතාවයක් තිබුණි . පසුව පළාත් ආදායම් කොමසාරිස් විසින් පත්කල විශේෂ කමිටුව විසින් එම දේපල වල වටිනාකම රුපියල් 248,000,000 ක් ලෙස නැවත තක්සේරු කර තිබීණ. එක් එක් නිළධාරීන් විවිධ අවස්ථාවල විවිධ මිළ ගනන් යටතේ තක්සේරු වටිනාකම ඉදිරිපත් කිරීමෙන් පෙනී යන්නේ නිළධාරීන් ද එක් එක් කෙනාගේ අභිමතය පරිදි කටයුතු කර ඇති බවයි.

 මේ සම්බන්ධව ජනතාව පෙල ගැසී මේවාට වගකිවයුතු අයට විරුද්ධව හඩක් නැගිය යුතු කාලය එළැඹ ඇත .

ගාල්ල – බුද්ධික වීරසිංහ