hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 16, පෙ.ව. 10:07



සුවසැරිය පසුගිය වසංගත සමයේ අනගිභවනීය සේවයක් ජාතිය වෙනුවෙන් ඉටුකරන ලද විශිෂ්ට ව්‍යාපෘතියකි. සුවසැරිය නොවන්නට කෝවිඩ් 19 ආසාදනයෙන් මිය ගිය සංඛ්‍යාව දෙගුණ තෙගුණ වන්නට ඉඩ තිබූ බව අවිවාදයෙන් පිළිගත යුතු සත්‍යයකි. පැවැති යහපාලන රජය විසින් විවිධ අපවාද හා බාධා කිරීම් මධ්‍යයේ වුව මෙම සේවාව ආරම්භ කිරීම පිළිබඳව එවකට සිටි ජනපතිවරයාට, අගමැතිවරයාට සෞඛ්‍යය ඇමතිවරයාට හා මෙම සේවාවෙහි නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා ඇමතිවරයාට ජාතියේ හෘදයාංගම ස්තුතිය පිරිනැමිය යුතුය.

කෙසේ වෙතත් සුවසැරියේ වත්මන් තත්වය විමසා බැලීම ප්‍රයෝජනවත් ය. ඒ යළිත් කොරෝනා තැන තැන හිඳ එබිකම් පාන්නට වී ඇති බැවිනි. 2018 අප්‍රේල් 24 දින සෞඛ්‍ය අමාත්‍යාංශය CVK EMRI Lanka (private) Ltd ආයතනය සමග අත්සන් කරන ලද ගිවිසුම ප්‍රකාරව සුව සැරිය බිහිවිය. එසේම 2018 අංක 18 දරණ 1990 සුවසැරිය පදනම පනත අනුව එය පාලනය වේ. එම ගිවිසුමට හා මෙම පදනමේ 26(ඇ) වගන්තියට අනුව සුවසැරිය පදනමේ මෙහෙයුම් කටයුතු සඳහා වැය වන පුනරාවර්තන වියදම් රජය විසින් ප්‍රතිපූර්ණය කළ යුතුවේ. එහෙත් 2020 ජනවාරි 01 දින වන විට රුපියල් 337,179,886 මුදලක් ද 2020 වර්ෂයට අදාළ රුපියල් 68,044,458 ක මුදලක්ද රජය විසින් ප්‍රතිපූර්ණය කර නොතිබුණි. එම රුපියල් 405,224,284 මුදල ප්‍රාග්ධන අරමුදල් වලින් වැය කිරීමට පදනමට සිදුවිය. එසේම 2019 වර්ෂය සඳහා රජය විසින් පදනමට ලබා දුන් මූල්‍ය ප්‍රතිපාදන 2021 වර්ෂයේ දී 25% කින් අඩු කරන ලදී.

ඒ කොවිඩ් වසංගතය මැඩලීම සදහා සුවසැරිය සිය උපරිම දායකත්වය සපයමින් සිටි වකවානුවකය. එය 2022 දී 50% කින් අඩු කර තිබේ. 2023 වර්ෂය සඳහා එම ප්‍රතිපාදන සියයට 75 කින් අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් 2019 අගෝස්තු 27 දින තීරණය කොට තිබේ. මූල්‍ය ප්‍රතිපාදන අඩු කිරීමෙන් පසු පදනම පවත්වාගෙන යාම සඳහා කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නැත. මේසා වැදගත් සේවාවක් මිහිදන් වීමට ඉඩ හළ යුතු ද? 1957 අංක 60 දරණ පනතින් සංශෝධිත 1954 අංක 19 දරණ ආඥා පනත සාප්පු හා කාර්යාලීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීම) කියැවෙයි. එහි තුන්වන වගන්තිය අනුව සේවකයෙකුගේ දිනක සේවා කාලය පැය 12 නොඉක්මවිය යුතුය. එහෙත් 2020 වර්ෂය තුළ දී පදනමේ ප්‍රධාන කාර්යාලයේ සේවය කරන ආරක්ෂක නිලධාරීන් පැය 12 ක් ඉක්මවා සේවයේ යොදවා තිබුණි. 2020 ජූලි මාසයේ සති තුනක් හා නොවැම්බර් මාසයේ සති හතරක් එකම සේවකයකු අඛණ්ඩව සේවයේ යොදවා තිබුණි. පනතේ විධිවිධාන වලට අනුකූලව ආරක්ෂක සේවා ගිවිසුම පිළියෙල කර නොතිබුණි. මේ නිසා ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත නොහැකි විය.

ඕනෑම රුපියල් විසිපන්දාහට වැඩි මුදල් ගනුදෙනුවකදී රුපියල් 25 ක මුද්දර ගාස්තුවක් අය කළ යුතු වේ. එහෙත් සේවක වැටුප් හැර අනෙකුත් ගෙවීම් වල දී මුද්දර ගාස්තු අයකිරීම පදනම විසින් පැහැර හැර තිබුණි. 2006 අංක 12 දරණ මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත හා 1465/19 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මින් උල්ලංඝනය කොට ඇත. ආයතන සංග්‍රහයේ XIV පරිච්ඡේදයේ 9:1 වගන්තිය ප්‍රකාරව නිලධාරියකුට කිලෝමීටරයට රුපියල් දෙකක සැතපුම් කුලියක් ගෙවිය හැකිය. ගිලන් රථ සේවාව අධීක්ෂණ කටයුතු වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් ස්ථානගතව සිටි අධීක්ෂණ නිලධාරීන්ට ක්ෂේත්‍ර පරීක්ෂණ කටයුතු සඳහා තම පෞද්ගලික යතුරුපැදිය භාවිතා කිරීමට අවසර ලබා දී ඇත. ඒ සඳහා පදනම විසින් කිලෝමීටරයකට රුපියල් 18 බැගින් ගෙවීමට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණි. මෙය ආයතන සංග්‍රහයේ විධිවිධාන වලට පටහැනිව මෙන්ම ආයතන අධ්‍යක්ෂගෙන් ලබා ගත් විධිමත් අනුමැතියකින් ද තොරව සිදු වී තිබුණි. 2020 වර්ෂය තුළ අවස්ථා 239 කදී කිලෝ මීටරයට රුපියල් 18 බැගින් රුපියල් 5,441,984 ක් වැඩිපුර ගෙවා තිබුණු බව නිරීක්ෂණය කළ හැකි විය.

2003 ජුනි 2 දිනැති අංක PED 12 දරණ රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 4:2:6 ඡේදය අනුව පදනම විසින් කාර්තුමය වශයෙන් කාර්ය සාධන වාර්තා පිළියෙල කර අදාල අමාත්‍යාංශය හා භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට යැවිය යුතුය. සෑම කාර්තුවක් අවසාන වීමට දින තිහකට පෙර එම වාර්තාව යැවිය යුතු වේ. එහෙත් පදනම විසින් එසේ ක්‍රියා කර තිබුණේ නැත. එසේම ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර අවම වශයෙන් වසර තුනක් සඳහා අපේක්ෂිත ප්‍රසම්පාදන කටයුතු එහි ලැයිස්තු ගත කළ යුතුය. එය රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4:2 ඡේදයේ පැහැදිලිව සඳහන් කර ඇත. එහෙත් පදනම විසින් ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.

සුවසැරිය පදනම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ. ඒ අනුව වෛද්‍ය සැපයුම් අංශය මගින් ගිලන් රථ සඳහා අවශ්‍ය සෞඛ්‍යය හා වෛද්‍ය පරිභෝජන ද්‍රව්‍ය ලබාගත හැක. එසේ තිබියදී පදනම විසින් වෛද්‍ය සැපයුම් අංශය විසින් මිලදීගෙන තිබූ මිලට වඩා වැඩි මිලක් ගෙවා ගිලන්රථ 297ක් සදහා ඖෂධ හා වෛද්‍ය පරිභෝජන ද්‍රව්‍ය මිලට ගෙන ඇත. ඒ සඳහා වැය කරන ලද මුදල රුපියල් 8 ,721,188 කි. සෞඛ්‍ය සේවකයන් සඳහා Hepatitis B එන්නත් මාත්‍රාවන් තුනක් ලබා ලබා දීම අනිවාර්ය වේ. මෙය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලින් නොමිලයේ ලබාගත හැක. එහෙත් ගිලන් රථ සේවයේ යෙදෙන කාර්ය මණ්ඩලය සඳහා 2020 වර්ෂයේ දී Hepatitis B එන්නත ලබාදීමට පෞද්ගලික රෝහලකට රුපියල් 1,022,414 ක් ගෙවා තිබිණි. 2020 දෙසැම්බර් 31 වන දිනට පදනමේ අනුමත කාර්ය මණ්ඩලය 1992 කි. එහෙත් එදිනට පදනමේ තත්‍ය කාර්ය මණ්ඩලය 1388 කි. 604 ක් වූ කාර්ය මණ්ඩල හිඟයෙන් 316 දෙනෙකුම ගිලන් රථ රියදුරන් ය. ඉන් සේවාලාභී අහිංසක ජනතාවට වඩා කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වේ.

සුවසැරිය පදනම යටතේ 2: 2 වගන්තිය හා 2003 ජූනි 02 දිනැති අංක PED 12 දරණ රාජ්‍ය ව්‍යාපාර චක්‍ර ලේඛයෙන් පදනමේ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධව කියැවේ. ඒ අනුව වාර්ෂික මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර මුදල් වර්ෂය අවසන් වී දින හැටක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය. එහෙත් පදනමේ 2020 මූල්‍ය ප්‍රකාශන විගණනය ට ඉදිරිපත් කරන ලද්දේ 2021 ජූලි 27 වැනි දිනය. සුවසැරිය බඳු ලාභ අපේක්ෂාවකින් තොරව ක්‍රියා කරන සංවිධානයක දිගුකාලීන දැක්මක් සහිතව අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් සැකසීම අතිශය වැදගත් වේ. එය 2014 පෙබරවාරි 17 වැනි දින අංක PFD/ RED /01/04/2014/00 දරණ රාජ්‍ය මුදල් ක්‍රමසම්පාදන අමාත්‍යාංශ චක්‍රලේඛයේ හතරවන ඡේදයෙන් ද සනාථ කර ඇත. එහෙත් පදනමට එවන් සැලසුමක් නොතිබුණි. ආයතනයක අභ්‍යන්තර විගණනයන් එම ආයතනයේ නාස්තිය හා දූෂණය අවම කර ගැනීමට අත්‍යවශ්‍ය සාධකයකි. මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 133 සහ 2019 ජනවාරි 12 දිනැති අංක DMA/1-2019 දරණ කළමනාකරණ විගණන චක්‍රලේඛය ප්‍රකාරව පදනම සඳහා අභ්‍යන්තර විගණන ඒකකයක් පත් කළ යුතු වේ. එහෙත් සුවසැරිය පදනම සඳහා එවන් ඒකකයක් ස්ථාපිත කර නොතිබුණි. එසේම අභ්‍යන්තර විගණන සිදුකිරීමද කර නොතිබිණි.

මෙවන් පසුබිමක පාරිශුද්ධ මූල්‍ය කළමනාකරණයක් අපේක්ෂා කළ හැකිද? ඉහත කළමනාකරණ විගණන චක්‍රලේඛයට අනුව කාර්තුවකට එක බැගින් වසරකට කමිටු රැස්වීම් හතරක් පැවැත්විය යුතුය. එහෙත් සුවසැරිය පදනම 2020 වර්ෂය සඳහා එකදු කමිටු රැස්වීමක් හෝ පවත්වා නොතිබුණි. 2023 ජුනි 02 දිනැති PED 12 දරණ රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 5 :2 :5 ඡේදයට අනුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද වාර්ෂික අයවැය පිටපතක් විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය. ඒ මූල්‍ය වර්ෂය ආරම්භ වීමට දින පහළොවකට පෙර ය එහෙත් පදනම විසින් එය ද පැහැර හැර තිබුණි. 2017 අගෝස්තු 14 දිනැති අංක එන්/පී/එස්.පී/එස්. ඩී .ජී 17 යනු ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ ලේකම් විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයකි. තිරසාර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ වසර 2030 න්‍යාය පත්‍රය ද පදනම ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ මඟ පෙන්වයි. එහෙත් පදනම මේ චක්‍රලේඛ පිළිබඳව දැනුවත් නැත. මේ නිසා මෙම විෂය පථය යටතට වැටෙන කාර්‍යයන් සම්බන්ධයෙන්, තිරසාර සංවර්ධන අරමුණු, ඉලක්ක හා එම ඉලක්ක මත ළඟාවීම මැන බැලීම සඳහා වන දර්ශකයන් හඳුනාගැනීමට පදනම සමත් වී නැත. යන්නේ කොහේදැයි නොම දැන ඉලක්කයක් අරමුණක් නොමැතිව අප දිනූ දේශය ද එහි කොදු නාරටිය බඳු රාජ්‍ය ආයතනද මං මුලා වී ඇති බව මින් ගම්‍ය නොවන්නේ ද ? මෙබඳු පරිසරයක ශ්‍රී ලංකාවේ හෙට දවස කෙබඳු විය හැකිද?

හික්කඩුව – බුද්ධික වීරසිංහ