hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 26, ප.ව. 1:04



2004 දෙසැම්බර් 26 වැනි උඳුවප් පොහෝ දා ඉන්දුනීසියාවේ සුමාත්‍රා හී බටහිර වෙරළට ඈතින් හටගත් භූමිකම්පාවෙන් ඇති වූ සුනාමි ව්‍යසනය, ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල කරනු ලැබුවා.

එම කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 09.0 ලෙසට පසුව අනාවරණය කෙරුණු අතර, මෙම සුනාමි තත්වය හමුවේ ශ්‍රී ලංකාව ද ඇතුලුව රටවල් රැසකින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 228,000කට ආසන්න බවයි. සුනාමි ව්‍යසනයට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 14ක් ගොදුරු වූ අතර, එහිදී මියගිය සංඛ්‍යාව 35,000ක් පමණ වුණා.

ඉන් දෙදහසකට ආසන්න පිරිසකට දිවි අහිමි වූයේ ලොව දරුණුතම දුම්රිය අනතුරක් ලෙසට ද සැලකෙන පැරෑලිය ප්‍රදේශයේදී සුනාමි රළ පහරට හසුවූ දුම්රියේ ගමන් කරමින් සිටියදීයි.

එමනිසා සුනාමි ව්‍යවසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය ජනතාව සිහිපත් කිරීම සඳහා 2005 අංක 15/1975/715/001-1 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව 2006 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වැනි දින ‘ජාතික සුරක්ෂිත දිනය’ ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව ජාතික සුරක්ෂිත දිනය සර්වාගමික වතාවත් වලට මුල් තැන දෙමින් සැමරීමට රජය තීරණය කර තිබෙනවා.

මේ අතර සුනාමි ඛේදවාචකය සිදුවී අදට වසර 19 ක් සපිරීම නිමිත්තෙන් පැවති සුනාමි අනුස්මරණ සැමරුම අද දින පැරෑළිය සුනාමි අනුස්මරණ ස්මාරකය ඉදිරිපිටදී පැවැත්විණ. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ගාල්ල ආපදා කළමනාකරණ ඒකකය මගින් මෙය සංවිධානය කර තිබුණි.

සර්ව ආගමික පූජාවන් පවත්වා මියගිය අය වෙනුවෙන් පිං පැමිණවීමක් ද මෙහිදී සිදුකෙරුණි. 2004 දී පැරෑළිය ප්‍රදේශයේ දී අනතුරට ලක්වූ දුමිරියේ ගමන් කර විපතට පත්වූ මගීන් ද සිහිකරමින් කොළඹ සිට පැමිණි දුම්රිය පැරෑළියේදී නතර කර දුම්රිය කාර්ය මණ්ඩලය ද මෙම අනුස්මරණ සැමරුම සදහා සහභාගි විය. 

මෙහිදී තවත් විශේෂත්වයක් වූයේ සුනාමි පූර්ව අනතුරු දැනුවත් කිරීමේ පද්ධතිය ක්‍රියාත්මක කරවීමයි. මෙමගින් ජංගම දුරකථන 70000 කට පමණ මෙම සුනාමි  අනතුරු නිකුත් කිරීමේ පද්ධතිය හා සම්බන්ධ කිරීමට හැකියාව ලැබෙනවා.

එමෙන්ම සුනාමි දළ රළ නිසාවෙන් ජිවිත  අහිමි වූ දහස් සංඛ්‍යාත පිරිස් සිහිකරමින් 19 වන  ජාතික ආරක්ෂණ දින සැමරුම අද (26) දින පෙරවරුවේ හම්බන්තොට නගරයේ වෙරළ උද්‍යානයේදී පැවැත්විණි.

සුනාමි ව්‍යසනයෙන් විශාල මිනිස් ජිවිත මෙන්ම දේපල හානියක් සිදුවූ ප්‍රදේශයක් වශයෙන් හම්බන්තොට දී සමරු මෙම වැඩ සටහන තුළදී  ආරක්ෂක වේලාව සිහිපත් කරමින් පෙරවරු 9.26 සිට විනාඩි දෙකක පමණ කාලයක් නගරයේ සියළුම රථ වාහන ගමනා ගමනය නතර කරමින් නිහඩ තාවය රකිමින් මිය ගිය අය සිහිපත් කිරිම සිදු විය.

සර්ව ආගමික වතාවත් ඉටුකිරිමෙන් පසු මිය ගිය අය වෙනුවෙන් පැන් වඩා පිං අනුමෝදන් කිරීම ද මෙම අවස්ථාවේදී සිදු කෙරිණි.

මේ අතර සුනාමි ව්‍යසනය සිදුවී වසර 19 ක් ගතවන 26 දින එම ව්‍යසනයෙන් මරණයට පත් වූ, අතුරුදහන් වූ හා විපතට පත් වූ ජනතාව සිහිපත් කරමින් මහනුවර ගෙලිඔය ශ්‍රී වේළුවනාරාම  විහාරස්ථානයේදී ආගමික වතාවත් හා එදින පෙරවරු 9.27 සිට 9.29 කාළය තුල විනාඩි දෙකක  නිහඬතාවයක් පැවැත්විණි.                     

2004 දෙසැම්බර් මස 24 උඳුවප් පොහෝදා සිදුවූ සුනාමි ව්‍යසනයෙන් මෙරට ජනතාව 35.000 ක් පමණ මරණයට පත් වූ බව සඳහන් වන අතර ලොව දරුණුම දුම්රිය අනතුරක් වශයෙන් සැලකෙන පැරලිය ප්‍රදේශයේදී සුනාමි රළ පහරට හසුව  දුම්රියේ ගමන් කරමින් සිටි දෙදහසක් පමණ  අවාසනාවන්ත අයුරින් මරණයට පත් වූ බව වාර්තා වීය.

මහනුවර ප්‍රධාන සුනාමි සැමරුම ගෙලිඔය, කරමඩ ශ්‍රී වේළුවනාරාමයේදී රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික පූජ්‍ය  ගලහා සිරි සාන්ත නාහිමි ප්‍රධානත්වයෙන් සිදු වූ අතර ඒ සඳහා ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ.