hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 අප්‍රේල් 14, පෙ.ව. 9:31



කැවුම් කියන්නේ අවුරුදු කෑම මේසයට නැතිවම බැරි කෑම විශේෂයක්. කැවුම් පිසීම ගජරාමෙට කෙරෙන්නේද සිංහල අවුරුදු කාලයට. සිංහල කැවිලි වර්ගවලට ඇත්තේද ඉතා දිගු ඉතිහාසයක්. කැවිලි වර්ග වැඩි වශයෙන්ම දක්‌නට ලැබී ඇත්තේ නුවර යුගයේදී. ද්‍රවිඩ ආශ්‍රය මෙන්ම පෘතුගීසි, ලන්දේසි සම්බන්ධතා මෙයට හේතුවන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. මුල් යුගයේදී ඉන්දියාවෙන් මෙරටට පුරුදු වූ කැවිලි වර්ග පොළොන්නරු යුගයේද තිබෙන්නට ඇති බවට විශ්වාස කෙරෙනවා.

නුවර යුගයේ කැවිලි වර්ග අන් සෑම වකවානුවකටත් වඩා වැඩි වුවද ඒවා එකවර රට පුරා පැතිර ගියේ නැහැ. ඉංග්‍රීසීන්ගේ පැමිණීමත් සමග අලුත් ආහාර වර්ග සිංහලයන් අතර ප්‍රචලිත වීම මෙයට හේතුවන්නට ඇති. කෙසේ වුවද සිංහලයන්ගේ කැවිලිවලින් ඉතාම මිහිරි ආහාරය කැවුම් යෑයි රොබට්‌ නොක්‌ස්‌ සඳහන් කර තිබෙනවා. සිංහලයන්ගේ රස කැවිලි පිළිබඳ රොබට්‌ නොක්‌ස්‌ විසින් තම ලංකා ගමනය පිළිබඳ එදා හෙළ දිව ග්‍රන්ථයේ මෙසේ සඳහන් කොට තිබෙනවා.

ඔවුන්ගේ රස කැවිලි විවිධයි. ඒ රස කැවිලි අතර ප්‍රධානත්වයක්‌ ගන්නා කැවුම් සහල් පිටියෙන් හා පැනියෙන් සාදා ගනු ලැබෙනවා. සහල්පිටි අනා ගුලි ගසා කොළපතක තබා ඇඟිල්ලෙන් පැතලිකොට පැහෙන තෙල් ඇතිලියේ බහා පදමට කරවූ පසු තෙලෙන් එළියට ගන්නවා. ඕලන්ද ජාතිකයන් ලංකාවට පළමු කොට පැමිණි අවධියේ ඔවුන්ට රාජකීය සංග්‍රහයක්‌ කරනු කැමති වූ කන්දේ රජු ඔවුන්ට කැවුම් පිස යවන ලෙස රාජ පුරුෂයන් හට නියම කර තිබෙනවා. එම කැවුම් කා පුදුමයට පත්වූ ලන්දේසීහු එපමණ ප්‍රණීත ආහාරයක්‌ මිනිස්‌ අතකින් නම් සෑදිය නොහැකි යෑයි සිතා මේවා ගස්‌වලින් කඩාගන්නා දෙයක්‌ද යැයි ඇසු බව ඉතිහාසයේ දැක්වෙනවා.

අපේ සිංහල කැවිලි අතර තිබූ අග්ගලා ගැනද රොබට්‌ නොක්‌ස්‌ සඳහන් කරයි. අග්ගලා නමින් තවත් අලූමුසුවක්‌ වෙයි. බැදි හාල්පිටි, පැණියෙන් අනා ගම්මිරිස්‌, කරදමුංගු හා කුරුඳු පොතු මඳ වශයෙන් මුසුකොට මෙම ගුලි සාදා ගනු ලැබෙයි. මේ ගුලි ගුලි කිරීමෙන් පසු තද වෙනවා. අග්ගලා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ වෙනස්‌ නොවී ප්‍රයෝජනයට ගත හැකි ආහාරයක්.

මෙම කැවිලි වර්ගය දඹදිව බෙහෙවින් පැතිරී තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. එදා ජනී ජනයා ගමන් බිමන් ගියේ පා ගමනින්. දින ගණනාවක්‌ පා ගමනින් යා යුතු නිසා අතර මගදී ආහාර සොයා ගැනීමද අපහසුයි. මේ නිසා අග්ගලා සාදාගෙන යැමේ පුරුද්දක්‌ ඇති වී තිබෙනවා. අග්ගලා දුප්පත් පොහොසත් කොයි කවුරුත් ආහාරයට ගත් කැවිලි වර්ගයක්. එදා තිබූ කැවිලි වර්ග අතුරින් රොබට්‌ නොක්‌ස්‌ගේ සිත්ගත් තවත් කැවිලි වර්ගයක්. “යක්‌ පැට්‌” අද නම් මේ කෑම වර්ගය ඉතා දුර්ලභයි. මෙය නුවර යුගයේ ඉතා ජනප්‍රියව පැවති දෙයක්.

යක්‌පැට්‌ නම් තවත් අහාරයක්‌ වෙයි. හාල්පිටි පොල් හා හකුරුවලින් සාදනු ලබන මෙය රස අහාරයකි. හාල්පිටි පැණි මුසුකොට අනා ගුලිකොට කොළයක ලා වණ්‌ඩුවේ තම්බා ගනියි. ඉතා මොළොක්‌ වූ මෙය බුදින විට හකුරු සමග සුදු පාන් කන බවක්‌ හැඟෙන්නේ. යක්‌පැට්‌ ගැන රොබට්‌ නොක්‌ස්‌ එසේ සඳහන් කොට තිබෙනවා. ගණ දෙවියන්ගෙන් නුවණ ඉල්ලා යදින කුඩා දරුවා පවා දෙවියන්ගේ සිත් ගන්නට සැරසෙන්නේ අතිරස අග්ගලා යක්‌පැට්‌ පුදමී යනුවෙන් සඳහන් කිරීමෙනි. ගණදෙවි හෑල්ලේද යක්‌පැටි ගැන සඳහන් වෙනවා. ගණ දෙවියන්ට පිදූ කැවිලි හා පලතුරු වට්‌ටෝරු කවියෙන් මෙසේ දක්‌වා තිබෙනවා.

අග්ගලා කොමලීනා

තල කැරලි විළ දීනා

මල් කැවුම් රොට්‌ යෙනා

වෙල්ල වැසිමුත් තනා

පුලුබී බෝජන තනා

ලාලු යක්‌ පැට්‌ යෙනා

කිරි උණ්‌ඩ පු තනා

අක්‌සුණු ද ඉසි මිනා

එදා දෙවියන්ට පිදූ කැවිලිවර්ග සියල්ලම මෙහි දක්‌නට තිබෙනවා. අග්ගල තල කැරලි, විළඳ මල්කැවුම්, රොට්‌, වෙල්ල වැහුම් පුලුබි, බෝජන ලාලු යක්‌පැට්‌ කිරි උණ්‌ඩ ඒ කැවිලි වර්ගයන්. කැවිලි වර්ග අතුරින් අතිරසද ඉතා මිහිරි කෑමක්‌ බව සිංහලයන් අතර ඉතා ප්‍රසිද්ධයි. අතිරස තිත්ත රසයි පැමිණි දුක්‌ පැණි රසයි යනුවෙන් කියා ඇත්තේද ඒ නිසායි. අලුත් අවුරුද්ද ලැබීමට පෙර සෑම ගෘහනියක්‌ම වාගේ කැවුම් අතිරස, ආදී කැවිලිවර්ග කලින්ම සකස්‌ කොට තබනවා.

නොයෙක් මාදිලියේ කැවිලිවර්ග අපේ ගැමි කාන්තාවන් විසින් සාදයි. කැවුම් සෑදීමට යොදා ගන්නා ද්‍රව්‍ය අනුව කැවුම්වලට විවිධ වූ නම් ලැබී තිබෙනවා. නාරං කැවුම්, සීනි කැවුම්, පැණි කැවුම් මුං කැවුම් ආදී කැවුම් වර්ග රාශියක්. වළස්‌මුල්ල ප්‍රදේශයටම ආවේණික කැවුම් වර්ගයක්‌ද තිබෙනවා. ඒවා හඳුන්වන්නේ මුකුදු යනුවෙන්. අවුරුද්දට ඉතා දුප්පත් ගෙදරක වුවද කැවුම් කිරිබත් පිළියෙල කරන අතර අලුත් ඇඳුම් පැළඳුම් ගෙන ඒමට අමතක නොකරනවා. එමෙන්ම ගෙවල්වලට කැවිලි පෙවිලි ගෙන යෑමද සිරිතක්. මේ නිසා එකිනෙකා අතර හොඳ හිත සමගියද ඇති වෙනවා. නොහොද නෝක්‌කාඩු දිගින් දිගටම ඇති වන්නේද නැහැ.

සැබවින්ම රස කැවිලිවලට හොඳ ඉල්ලුමක්‌ ඇතිවන්නේද සිංහල අවුරුදු කාලයටයි. ගම්බද කෙතරම් අගහිඟකම් ඇති ගැමි නිවසක වුවද ගැමි ලිය කැවුම් ඉවීමට අමතක නොකරයි. නාගරික ප්‍රදේශවල නම් කැවුම් ගෙඩිය පවා කඩයෙන් ගෙන ඒමට අපේ ඇත්තෝ පුරුදුව සිටිනවා. අපේ ගැමි ලඳුන් විසින් සාදන කැවිලි පෙවිලි ඉතා රසවත්. එදා රොබට්‌ නොක්‌ස්‌ පවා අපේ රටේ ලඳුන් විසින් සාදනු ලැබූ රස කැවිලි අනුභව කොට රස කැවිලිවලට වශී වී තිබෙනවා. කැවුම් නිසා අපේ සිංහල බස්‌ වහරද පෝෂණය වී තිබෙනවා. සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා මේ එවැනි ජනවහරකි. සිංහලයා කොයිදේට අදක්‌ෂ වුවත් කැවුම් කෑමට ශූරයකු බව මේ ජනවහරින් පැහැදිලි වන්නේ. එකල ගම්වල කොල්ලො කුරුට්‌ටෝ පවා අප්පුඩි ගසමින් අප්පුඩි පුඩි පුවත්තා කැවුම් දෙකක්‌ දියත්තා යනුවෙන් කැවුම් ඉල්ලා තිබෙනවා. අලුත් අවුරුදු කාලයට පමණක්‌ නොව සිංහලයන්ගේ සෑම උත්සවයකදීම පවා කැවිලි පෙවිලිවලට හිමිවන්නේ වැදගත් ස්‌ථානයක්.

කෙසේ වුවද අලුත් අවුරුදු කාලයට සිංහලයාට නැතුවම බැරි කැවුම් ගෙඩිය අද වෙළඳ භාණ්‌ඩයක්‌ බවට පත්ව තිබෙනවා. ඒ විතරක් නොව  සිනි, පොල්තෙල් ආදි  අමුද්‍රව්‍යවල මිල ඉහල යාම නිසා මෙවර සිංහල අලුත් අවුරුද්දට කැවුම් ඉවිමද බරපතල ගැටළුවක් වි තිබෙනවා.

ගාල්ල ඕපාත උළුවටිකේ පදිංචි එස්.ඒ උදුලාවති මහත්මිය කැවුම් ඉවිමට දක්ෂ තැනැත්තියක්.

“මෙදා සිංහල අලුත් අවුරුද්දට කැවුම් ඉවිම තබා තෙල් තාච්චියක්වත් ලිපේ තියා ගැනිමට නොහැකි තත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ. කැකුළු සහල් කිලෝවක් රුපියල් 200ට නැගලා. සිනි, පොල්තෙල් මිල අහස උසට නැගලා. කැවුම් ගෙඩියක් රුපියල් 75කටවත් දෙන්න ඕන. ඉස්සර නම් අපි පොල්කොලපු දමලා දර ලිපේ තමයි කැවුම් ඉවිම කළේ. දැන් ඉතින් හැමදෙයක්ම නවිකරණය වෙලා නිසා ගෑස් ලිපේ තමයි කැවුම් උයන්නේ. ගෑස් හිගයකුත් තියෙනවානේ. ඇත්තටම අලුත් අවුරුදු කාලයට කෝදුරුවෝ ද රැන්පිටින් නිවෙස්වලට ඇදි එනවා. ඒ කාලයේ කෝදුරුවෝ කැවුම් වලට ඇදි එන එක නතර කිරිම සදහා ගැමි කතුන්  කෝදුරුවන් සදහා කෝදුරු කැවුමක් හදලා ගෙයි එල්ලා තැබුවා. කැවුම් ඉවිම සදහා තෙල්වලං ලිපේ තියා මුලින්ම සාදනු ලබන කැවුම තමයි කෝදුරු කැවුම. අන්තිමට සාදනු ලබන කැවුමට කියන්නේ දිය කැවුම කියලා.   අපේ කාන්තාවන්  මේවා ගැන දන්නේ නැහැ. කැවුම් ගෙඩියක් උයාගන්නවත් බැරි ළදුන් අපේ කොයි තරම් ඉන්නවාද?”

අක්මිමන බදුන්ගොඩ ඒ.කේ නන්දාකාන්ති  (60) මහත්මිය කැවුම් ඉවිමට දක්ෂ කාන්තාවක්. ඇය අපිට කිවේ මෙවැනි කථාවක්.

“අම්මාගෙන් තමයි කැවුම් ඉවිමට ඉගෙන ගත්තේ. දැනට වසර 20ක පමණ කාලයක ඉදලා ඇණවුම්වලට කැවුම්  උයලා දෙනවා. වෙනදා මාර්තු මාසය වනවිට කැවුම්, ආස්ම්, කොකිස්, දොදොල් හදලා දෙන්න කියලා ඇණවුම් ලැබෙනවා. සීනි, හාල්, පොල්තෙල්, මාදුරු වැනි අමුද්‍රව්‍ය වල මිල දෙතුන් ගුණයකින් වැඩිවෙලා. මේ අලුත් අවුරුද්දට කිසිදු ඇණවුමක් ලැබුණේ නැහැ. කොවිඩි වසංගතය නිසා ගිය වර්ෂයෙත් කැවුම් හා රසකැවිලා සදහා ලොකු ඉල්ලුමක් තිබුණේ නැහැ. මේ අවුරුද්දේ ජනතාව කැවුම් හදාවිද කියලත් සැකයක් තියෙනවා. රසකැවිලි සදහා ඇති ඉල්ලුම අඩුවෙලා.” 

විචිත්‍රා මිහිරාණි 29 හැවිරිදි වියේ පසුවන යුවතියක ඇය දික්කුඹුර අහංගම ප්‍රදේශයේ පදිංචිකාරියක්. ඇයද කැවුම් ඉවිමට හපන්නියක්.

“දැනට වසර දෙක තුනක සිට ඇණවුම්වලට කැවුම් හදලා දෙනවා. මගේ මහත්තයාගේ අම්මාගෙන් තමයි කැවුම් ඉවිම ඉගෙන ගත්තේ. කැවුම් ගෙඩියක් රුපියල් 75කට දුන්නත් මදි.”

ගාල්ල බලගොඩ සිංහධිවර ගම්මානයේ පදිංචි වයි.එම් ලක්මාල් රසකැවිලි කර්මාන්තයේ නිරත අයෙක්.

“තල, මස්කට්, ඉගුරුදෝසි, පුහුල් දෝසි හදනවා. ඇත්තටම රසකැවිලි වලට තියෙන ඉල්ලුම අඩුවෙලා. සිනි, පිටි, පොලිතින්, පොල්තෙල්, වැනිලා, ඔයිල් පේපර් ලේබල් ආදි අමුද්‍රව්‍යවල මිල අහස උසට නැගලා. නිෂ්පාදන වියදම විශාල වශයෙන් වැඩිවෙලා. නමුත් අපිට රසකැවිලිවල මිල වැඩිකරන්න බැහැ. මිල වැඩි කළහොත් ඉල්ලුම අඩුවෙනවා. රසකැවිලි අත්‍යවශ්‍ය භාණ්ඩයක් නෙවෙයි. දැන් ජනතාවට තුන්වේල කන්න බැරිව ඉන්නේ. ඒ නිසා ජනතාව වැඩි අවධානයක් රසකැවිලි සදහා යොමු කරන්නේ නැහැ. සිනි කිලෝව රුපියල් 220ක් වෙනවා. රුපියල් 4550ට තිබු පිටි මිටිය දැන් රුපියල් 8100යි, රුපියල්2150ට තිබු කඩදාසි පේපර් දැන් රුපියල් 4000ක් වෙනවා. පුහුල් කිලෝ 1000ක් රුපියල් ලක්ෂයක් වෙනවා. පුහුල් කිලෝවක් රුපියල් 100යි. මේ තත්වය යටතේ රසකැවිලි කර්මාන්තය කරගෙන යන්න බැහැ. අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන තමයි රසකැවිලි නිෂ්පාදනය කරන්නේ. ඒත් අලෙවි කරගන්න පුළුවන්ද කියලා සැක සහිතයි.”

බලගොඩ සිංහධිවර ගම්මානයේ පදිංචි සදුන් සංජිව රසකැවිලි නිෂ්පාදකයෙක්. ඔහු මෙසේ පැවසුවා,

“මස්කට් තමයි හදන්නේ. සිනි කිලෝවක් රුපියල් 220ක් වෙනවා. පොල්තෙල් කිලෝවක් රුපියල් 850ක් වෙනවා. රුපියල් 2400ට තිබුණු ඔයිල් පේපර් දැන් රුපියල් 5000ක් වෙනවා. පිටි මිටියක් රුපියල් 8500ක් වෙනවා. ඇත්තටම මේ කර්මාන්තය කරගෙන යන්නේ ගැටළු රැසක් මැද. අපිට කඩවල්වලට ගිහින් රසකැවිලි දමන්න බැහැ. ඉන්ධන මිල වැඩි නිසා. වෙළදුන් ඇවිත් රසකැවිලි අරගෙන යනවා. නමුත් මහන්සිවන තරමට ප්‍රථිපලයක් නැහැ.”

කලාවිදු, කලාභුෂණ, දේශශක්ති යන සම්මාන වලින් පිදුම් ලැබු කොට්ටව සිරිසේන රාළහාමි අප සමග කථාබහට වැටෙමින් මෙසේ සඳහන් කළා.

“අළුත් අවුරුදු කාලයට ගමේ පිරිමි දරුවන් කජු අහුලන්න යනවා. කජු අහුලන්න යන්නේ වවුල් පලවල්වලට. ගම්වල වවුල් පලවල් තිබුනා. මාත් ගමේ කොළු ගැටවුත් එක්ක කජු ඇහිදින්න ගිහින් තියෙනවා. වවුලෝ කජු පුහුලන් කාලා කජු ඇට මේ තැන්වලට ගෙනවිත් දමනවා. උදේ රැයින් තමයි කජු ඇහිදින්න යන්නේ. ගොක්කොළ වලින් හදපු පෙට්ටියක තමයි කජු ඇට දමන්නේ. වල කජු ගහන්නත් කජු ඇට ගන්නවා. ඒ විතරක් නෙවෙයි කැවුම් හදනකොටත් කජු මද දමනවා.”

(ලලිත් චාමින්ද)