hit counter

2025 සැප්‍තැම්‍බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්‍තැම්‍බර් 25, ප.ව. 1:47



කුරුණෑගල, මැල්සිරිපුර පන්සීයගම, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් ඩක්කුවක් කඩා වැටී සිදුවූ අනතුරකින් ස්වාමීන් වහන්සේලා හත් නමක් අපවත් වී ඇත.

නා උයන ආරණ්‍ය සේනාසය පිහිටා ඇත්තේ කඳුකර ප්‍රදේශයක වන අතර මේ හේතුවෙන් ස්වාමීන් වහන්සේ කාලයක සිට තමන් වැඩ වාසය කරන කුටි වෙත වැඩම කිරිම සඳහා කේබල් ඩක්කුව භාවිත කරයි.

ස්වාමීන් වහන්සේ 13 නමක් ඊයේ (24) දින රාත්‍රියේ ආරණ්‍ය සේනාසනයේ ධර්ම ශාලාවේ සිට උස් ස්ථානයක පිහිටි කුටියට රැගෙන යමින් සිටි කේබල් ඩක්කුව එලෙස කඩා වැටී ඇත.

කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන ස්වාමීන් වහන්සේ දෙනමක් ආසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ‍පොලීසිය සඳහන් කරයි.

බිහිසුණු ඛේදවාචකය සම්බන්ධයෙන් බුද්ධ ශාසන, ආගමික සහ සංකෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි අද (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරයි.

“ඊයේ රාත්‍රියේ මැල්සිරිපුර, පන්සියගම ප්‍රදේශයේ තිබෙන නා උයන බෞද්ධ ආරණ්‍ය සේනාසනයේ සිදුවුණු හදිසි අනතුර පිළිබඳව. ඒ හදිසි අනතුර නිසා අපේ ස්වාමින් වහන්සේලා හත් නමක් අවාසනාවන්ත ලෙස අපවත් වෙලා තිබෙනවා.

ඒ වගේම තවත් හය නමක් තුවාල ලබලා තිබෙනවා. එයින් දෙනමක් දැඩිසත්කාර ඒකකයේ මේ වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. එනිසා ප්‍රථම කොටම මම කැමතියි අපේ අමාත්‍යංශයේත්, ලංකා රජයේත්, සමස්ත පාර්ලිමේන්තුවට මම යෝජනා කරන්න කැමතියි,

අපේ ශෝකය, සංවේගය අපවත් වී වදාළ මේ පූජනීය ස්වාමීන් වහන්සේලා හත් නම වෙනුවෙන් පළ කරන්නට අවස්ථාවක් මම ඉල්ලා සිටිනවා. ස්වාමීන් වහන්සේලාගෙන් හතර නමක් ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා. තුන් නමක් විදේශීය ස්වාමීන් වහන්සේලා.”

අපවත් වී වදාළ ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේලා පහතින්..

පූජ්‍ය මල්වානේගම සමිද්ධි හිමි

පූජ්‍ය නාවලපිටියේ උත්තරානන්ද හිමි

පූජ්‍ය නුගේගොඩ විපස්සි හිමි

පූජ්‍ය උඩවලවේ ශාන්තසුමන හිමි

අපවත් වී වදාළ විදේශීය ස්වාමීන් වහන්සේලා පහතින්..

රුමේනියානු ජාතික, පූජ්‍ය ධම්ම රන්සි ස්වාමීන් වහන්සේ

රුසියානු ජාතික, පූජ්‍ය ධම්ම රක්ඛිත ස්වාමීන් වහන්සේ

ඉන්දියානු ජාතික, පූජ්‍ය ධම්ම ගවේසී ස්වාමීන් වහන්සේ

ස්වාමීන් වහන්සේලා පිරිස භාවනා කුටි පිහිටි කඳු මුදුනට රැගෙන ගිය ඩක්කුවෙහි ආධාරක කම්බියක් කැඩී යාමෙන් ඩක්කුව යළි පහළට ඇදී යාම නිසා මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය සැක පළ කරයි.

නා උයන ආරණ්‍ය සේනාසනයේ එම ඩක්කුව සහ එහි පීල්ල වසර 20ක් පමණ පැරණි අතර ආරණ්‍ය සේනාසනයේ සිට භාවනා කුටි අතර කිලෝමීටරයක පමණ දුරක් පවතින අතර කඳු මුදුනට නැගීම සඳහා පිය ගැටපෙළක් ඇති අතර ගමන් පහසුව සඳහා ඩක්කුවක් ද ක්‍රියාත්මක වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: