hit counter

2025 ඔක්‍තෝබර් මස 25 වන සෙනසුරාදා

2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:11



මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ වාහන සඳහා වන ණය පහසුකම් පෙර නොවූ විරූ ලෙස ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම දත්ත මගින් අනාවරණය වේ.

මෙම වසරේ මුල් මාස හය තුළදී පමණක් බලපත්‍රලාභී මූල්‍ය සමාගම් විසින් රුපියල් බිලියන 1,161ක දැවැන්ත මුදලක් වාහන ණය ලෙස ජනතාව වෙත ලබා දී තිබීම, මෙරට ආර්ථිකයේ නව ප්‍රවණතාවක් සනිටුහන් කර තිබේ.

මූල්‍ය සමාගම් විසින් ලබා දුන් සමස්ත ණය ප්‍රමාණයෙන් 63%කට අධික ප්‍රතිශතයක් මෙලෙස වාහන සඳහා වෙන්වීම තුළින්, වාහන සඳහා ජනතාවගේ ඉහළ ඉල්ලුම මනාව පිළිබිඹු වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ජේ.පී.ආර්. කරුණාරත්න මහතා, “මූල්‍ය ස්ථායිතා විවරණය 2025” එළිදැක්වීමේ මාධ්‍ය හමුව අමතමින් මෙම තොරතුරු හෙළිකළේය.

ඔහු පෙන්වා දුන්නේ මෙම වාහන ණය වලින් වැඩිම ප්‍රතිශතය, ලීසිං පහසුකම් ලෙස ලබාගෙන ඇති බවයි. ඊට අමතරව, උකස් පදනම මත වාහන සඳහා ණය ලබාගැනීම දෙවන ස්ථානයේ පවතින බවද ඒ මහතා සඳහන් කළේය.

මූල්‍ය සමාගම් විසින් මෙම වසරේ මුල් අර්ධය තුළ ලබාදුන් සමස්ත දළ ණය සහ අත්තිකාරම් ප්‍රමාණය රුපියල් බිලියන 1,837ක් වන අතර, ඉන් බිලියන 1,161ක්ම වාහන සඳහා වෙන්වීම සුවිශේෂී කරුණකි. රන් ණය සඳහා වෙන්ව ඇත්තේ ඉන් 19.4%ක ප්‍රතිශතයක් පමණි.

මෙම ප්‍රවණතාව හුදෙක් මූල්‍ය සමාගම්වලට පමණක් සීමා වී නොමැත. බැංකු අංශය විසින් පෞද්ගලික අංශයට ලබාදුන් ණයවලින් 40.7%ක්, එනම් රුපියල් බිලියන 1,010.3ක්, මෙරට පවුල් ඒකක සඳහා ලබා දී ඇත. පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව මෙය 14.8%ක සැලකිය යුතු වර්ධනයකි.

මෙම ණය ප්‍රවාහයේ වැඩිම ප්‍රතිලාභ හිමිව ඇත්තේ බස්නාහිර පළාතේ ජනතාව සඳහා වීමද විශේෂත්වයකි. මෙම තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ, පසුගිය පෙබරවාරි මාසයේදී වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව අපේක්ෂා කළාට වඩා වැඩි ඉල්ලුමක් වෙළෙඳපොළ තුළ නිර්මාණය වූ බවයි.

වසර පහක පමණ කාලයක් පුරා ගොඩනැගී තිබූ මෙම ඉහළ ඉල්ලුම ක්‍රමයෙන් සමනය වෙමින් පවතින බව මහ බැංකු අධිපතිවරයාගේ අදහසයි. “විශාල ඉල්ලුම සැපිරීමෙන් පසුව ලබන වසරේදී වාහන සඳහා සාමාන්‍ය ඉල්ලුමක් පැවතීමට ඉඩ තිබෙනවා. එය රජයේ ආදායමට ගැටලුවක් නොවනු ඇති අතර, ශ්‍රී ලංකාවට මෙම තත්ත්වය මැනවින් කළමනාකරණය කරගැනීමට හැකිවනු ඇතැයි” ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශ්වාසය පළ කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: