2025 ඔක්තෝබර් 28, පෙ.ව. 10:16
ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සඳහා නව පත්කිරීම් දෙකක් සිදුකරමින්, එහි නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙකු අලුතින් පත් කර තිබේ.
මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම් සිදුකර ඇත.
ඒ අනුව, මෙතෙක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙස සේවය කළ ආචාර්ය සී. අමරසේකර මහතා, 2025 ඔක්තෝබර් මස 24 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත් කර තිබේ.
මීට අමතරව, මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ කේ.ජී.පී. සිරිකුමාර මහතා, 2025 නොවැම්බර් මස 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අනෙක් නියෝජ්‍ය අධිපතිවරයා ලෙස පත් කර ඇති බවද මහ බැංකු නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
වසර 22කට අධික කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවයේ නිරත, පුළුල් අත්දැකීම් සම්භාරයකින් හෙබි ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා, මෙම නව පත්වීමට පෙර මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙස කටයුතු කළේය. එහිදී ඔහු ආර්ථික පර්යේෂණ, සංඛ්‍යාන, වෙළෙඳපොළ මෙහෙයුම් සහ සාර්ව විචක්ෂණතා අධ්‍යයන වැනි තීරණාත්මක දෙපාර්තමේන්තු රැසක් භාරව කටයුතු කළ අතර, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ලේකම්වරයා ලෙසද සිය දායකත්වය ලබා දුන්නේය.
ජාත්‍යන්තර ක්ෂේත්‍රයේද සිය සේවය සනිටුහන් කර ඇති ආචාර්ය අමරසේකර මහතා, 2022 ජනවාරි සිට 2024 පෙබරවාරි දක්වා කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ, වොෂින්ටන් නුවර පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය යන රටවල් නියෝජනය කරන විකල්ප විධායක අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළේය.
මුදල් ප්‍රතිපත්ති සහ සාර්ව ආර්ථික පර්යේෂණ පිළිබඳ විශේෂඥයෙකු වන ඔහු, ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පාලක මණ්ඩලය සහ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයකම සාමාජිකත්වය දරයි. ඔහුගේ පර්යේෂණ පත්‍රිකා දේශීය හා ජාත්‍යන්තරව පිළිගත් පර්යේෂණ සඟරාවල පළ වී ඇති අතර, ඔහු විශ්වවිද්‍යාල සහ වෘත්තීය ආයතන රැසක ආරාධිත කථිකාචාර්යවරයෙකු ලෙසද ස්වේච්ඡාවෙන් සේවය කර ඇත.
එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් සහ ශාස්ත්‍රපති උපාධියක් හිමිකරගෙන ඇති ආචාර්ය අමරසේකර මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ ගෞරව උපාධියක් ලබාගත් විද්වතෙකි. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරයෙකු ද වෙයි.
වසර 25කට අධික කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කරමින් සිය වෘත්තීය දිවිය ඔප් නංවාගත් කේ.ජී.පී. සිරිකුමාර මහතා, නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත්වීමට පෙර සහකාර අධිපතිවරයෙකු ලෙස කටයුතු කළේය. එම කාලය තුළ ඔහු ව්‍යවහාර මුදල් කළමනාකරණය, රාජ්‍ය ණය කළමනාකරණය සහ තැන්පතු රක්ෂණය වැනි ක්ෂේත්‍ර ගණනාවක වගකීම් ඉසිලීය.
ශ්‍රී ලංකාවේ බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ නීති ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සිරිකුමාර මහතා, විශේෂයෙන්ම මූල්‍ය වෙළෙඳපොළ යටිතල පහසුකම්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ මුදල් විශුද්ධිකරණයට එරෙහි නීති සම්පාදනය කිරීමේදී කැපී පෙනෙන දායකත්වයක් ලබා දී තිබේ.
ඔහු ජාතික ගෙවීම් කවුන්සිලය, මූල්‍ය ස්ථායීතා කමිටුව ඇතුළු මහ බැංකුවේ තීරණාත්මක කමිටු කිහිපයක සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර, මුදල් මණ්ඩලයේ උපදේශක විගණන කමිටුවේ සහ අවදානම් අධීක්ෂණ කමිටුවේ නිරීක්ෂකයෙකු ලෙසද සේවය කර ඇත. වර්තමානයේ ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ උප සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.
නීති ක්ෂේත්‍රයේද ඉහළ සුදුසුකම් සපුරා ඇති සිරිකුමාර මහතා, ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි දෙකක් හිමිකරගෙන ඇති අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධරයෙකි. ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරයෙකු වන ඒ මහතා, එක්සත් රාජධානියේ ජාත්‍යන්තර අනුකූලතා සංගමයේ සාමාජිකත්වය දරන අතර, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර ඩිප්ලෝමාවක් ද හිමිකරගෙන සිටී.
2025 ඔක්තෝබර් 29, පෙ.ව. 12:16
2025 ඔක්තෝබර් 29, පෙ.ව. 12:12
2025 ඔක්තෝබර් 29, පෙ.ව. 12:12
2025 ඔක්තෝබර් 29, පෙ.ව. 12:10
2025 ඔක්තෝබර් 29, පෙ.ව. 12:08
29-10-25
29-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
26-10-25
26-10-25