hit counter

2025 නොවැම්‍බර් මස 11 වන අඟහරුවාදා

2025 නොවැම්‍බර් 11, පෙ.ව. 9:01



වසර දහයකට ආසන්න කාලයකට පසු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිත කණ්ඩායමක් ඊයේ (10) ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත පැමිණියහ.

මෙම ඓතිහාසික හමුව සිදුවූයේ, වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව එළඹෙන නොවැම්බර් 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත දැවැන්ත ජන රැලිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාය.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් එක්ව සිටියහ. දේශපාලන වශයෙන් මතවාදීමය දුරස්ථභාවයක් පැවති මෙම පක්ෂ දෙක, පොදු සතුරෙකුට එරෙහිව එක් වේදිකාවකට ගෙන ඒම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා, “ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියලු පක්ෂ එකම වේදිකාවකට ගේනවා. මාලිමාවට කතිරේ ගහපු අයට දැන් තමන් රැවටුණු බව තේරිලා. 21 වැනිදා අපි මේ බොරුව හෙළිකරනවා,” යනුවෙන් ප්‍රකාශ කළේය.

වසර 10කට පමණ පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණීම පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් නාමල් රාජපක්ෂ මහතා, “ආණ්ඩුවට අපි කියන්නේ දුන්න පොරොන්දු ඉටුකරන්න කියලයි.

පසුගිය අයවැයෙන් 50%ක්වත් ඉටු කරලා නැහැ. එහෙම තියෙද්දී ජනාධිපති පැය හතරහමාරක් කතා කරනවා. කවුද කැබ් 1700ක් ඕන කිව්වේ? මොන ආයතනයෙන්ද කැබ් රථම ඉල්ලුවේ? අපි හොයන්නේ කැබ්ම ඉල්ලපු කෙනාවයි. ආණ්ඩුව ‘පික් පොකට්’ න්‍යායෙන් දේශපාලනය කරන්නේ.

කුඩු, අයිස්වලට මාව අත්අඩංගුවට ගන්න හදලා, ඒක පැලවත්තටම කඩාගෙන වැටුණා. ආණ්ඩුවේ බොරු ජනතාව දැන් තේරුම් අරන් ඉන්නේ. මේ මතයේ ඉන්න හැමෝම 21 වෙනිදා නුගේගොඩට එයි,” යනුවෙන් දැඩි ස්වරයෙන් පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: