hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2026 පෙබරවාරි 17, පෙ.ව. 12:15



යම් ළමයකු අගතියට සහ අපහසුතාවයට පත්වන ආකාරයට සමාජ මාධ්‍ය කටයුතු කරන්නේ නම් අදාළ තොරතුරු පළකරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

මෑත කාලයේ එවැනි ආකාරයේ සිදුවීම් කිහිපයක්ම සමාජ මාධ්‍යයන්හි වාර්තා වීම සමග ළමුන්ගේ අනන්‍යතාවය සමාජයට හෙළිවීම නිසා ඉතාමත් භයානක සිදුවීම්වලට එම ළමුන්ට මුහුණ දීමට සිදුව තිබෙන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වී තිබෙන බවත් එහි සභාපතිනි ප්‍රීති ඉනෝකා රණසිංහ නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 365 [ඈ] වගන්තියට අනුව අපයෝජනයට ලක්වූ දරුවකුගේ නම හෝ අනන්‍යතාවය හෙළි කරන පුද්ගලයකුට වසර දෙකක කාලයක සිර දඬුවමක් හෝ දඩයකින් දඬුවම් පැමිණවිය හැකි බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

දරුවන් පිළිබඳ සිදුවීම් සමාජ මාධ්‍යයේ වාර්තා වෙනවානම් 1929 ළමා උපකාරක සේවා දුරකථන අංකය අමතා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දන්වන ලෙස ද එහි සභාපතිනි ප්‍රීති ඉනෝකා රණසිංහ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: