2026 පෙබරවාරි 23, ප.ව. 5:42
කොළඹ / නවදිල්ලිය – කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරාධිපති, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් විසින් බෞද්ධ ශාස්ත්‍රීය අධ්‍යයනය, අධ්‍යාත්මික නායකත්වය සහ ශ්‍රී ලංකා – ඉන්දියා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් සිදු කරන ලද සුවිශේෂී මෙහෙවර අගයමින් ඉන්දියාවේ KIIT විශ්ව විද්‍යාලය මගින් ජීවිතයේ එක්වරක් පමණක් ලබා දෙන ‘Lifetime Achievement Award’ ගෞරව සම්මානය පසුගියදා පිරිනමනු ලැබීය.
ශ්‍රී ලාංකිකයෙකු මෙම ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලැබූ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය ලෙස වාර්තා වේ. මීට පෙර මෙම විශිෂ්ට සම්මානය ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්‌ජි මහතා ඇතුළු ජාත්‍යන්තර වශයෙන් අතිමහත් සේවාවක් ඉටු කළ ලෝක ප්‍රකට සම්භාවනීය පුද්ගලයන් වෙත පිරිනමා ඇත. එවැනි ගෞරවනීය නාමාවලියකට පූජ්‍ය ආචාර්ය අස්සජි නාහිමියන්ගේ නාමය ද එක්වීම තුළින් උන්වහන්සේ ඉටු කරන ජාත්‍යන්තර මෙහෙවරෙහි ඇති වැදගත්කම මැනවින් නිරූපණය වේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්විපාර්ශ්වික ආගමික හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමෙහිලා පූජ්‍ය අස්සජි නාහිමියන් විසින් ඉටු කරන කාර්යභාරය අති මහත්ය.
දෙරට අතර පවතින ගැඹුරු ආගමික මිත්‍රත්වය සංකේතවත් කරමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ මැදිහත්වීමෙන් ඉන්දියාවේ සර්වඥ ධාතූන් වහන්සේලා ගංගාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කිරීම පසුගියදා සිදු විය. එමෙන්ම, 2017 වසරේ පැවති රාජ්‍ය වෙසක් උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහභාගී වීම ද දෙරටේ ආගමික රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල වැදගත් සන්ධිස්ථානයන් වශයෙන් දැක්විය හැක.
පූජ්‍ය ආචාර්ය අස්සජි නාහිමියන් සිය ශාස්ත්‍රපති (MA) සහ ආචාර්ය උපාධිය (PhD) ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයෙන් ලබාගෙන ඇත. තවද අස්සජි නාහිමියෝ දශක ගණනාවක් තිස්සේ ජාතික හා අන්තර්ජාතික මට්ටමින් සිදු කරනු ලබන ආගමික, ශාසනික හා ශාස්ත්‍රීය සේවාවන් මගින් ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරව ප්‍රර්වධනය කිරීමට විශාල දායකත්වයක් ලබා දී ඇත.
මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් පූජ්‍ය අස්සජි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කළේ, තමන් වහන්සේ වෙත පිරිනමන ලද මෙම ගෞරවය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සමස්ත බෞද්ධ ජනතාව වෙනුවෙන් ම සිදු කරන ලද ඇගයීමක් බවයි. වැඩි දුරටත් අදහස් දක්වමින් නායක හිමියන් ප්‍රකාශ කලේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට අතර ද්වි පාර්ශවික සබඳතා දියුණු කිරීමට අඛණ්ඩව කැපවන බවත්ය.
2026 පෙබරවාරි 23, ප.ව. 6:52
2026 පෙබරවාරි 23, පෙ.ව. 8:50
2026 පෙබරවාරි 23, පෙ.ව. 12:26
2026 පෙබරවාරි 23, පෙ.ව. 12:21
2026 පෙබරවාරි 23, පෙ.ව. 12:17