hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2026 මාර්තු 24, ප.ව. 12:27



පසුගිය දිනවලට සාපේක්ෂව අද (24) දිනයේ රන් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කැරට් 24ක රත්තරන් පවුමක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 370,000ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල අද දිනයේ වාර්තා වූයේ රුපියල් 340,400ක් ලෙසයි.

මේ අතරම ගෝලීය රන් මිල අද දිනයේ තවදුරටත් පහත වැටී තිබෙනවා.

ආයෝජකයින් සිය රන් සංචිත ඉවත් කර ගැනීම හේතුවෙන් රන් වෙළඳපොළේ පවතින පසුබෑම (Bear market) තවදුරටත් තීව්‍ර වී ඇති අතර ශක්තිමත් වෙමින් පවතින ඇමරිකානු ඩොලරය සහ ඉහළ යන භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිලාභ හමුවේ රන් සඳහා පවතින ආකර්ෂණය අඩුවීම මෙයට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

ජාත්‍යන්තර වෙළඳපොළේ රන් අවුන්සයක මිල (Spot gold) 2% කින් පමණ පහත වැටී පසුව 1% ක මට්ටමකට පැමිණ ඇමරිකානු ඩොලර් 4,335.97 ක් ලෙස සටහන් වුණා.

අප්‍රේල් මාසයේ සැපයුම සඳහා වන රන් අනාගත මිල (Gold futures) 1% කට වඩා පහත වැටෙමින් අවුන්සයකට ඩොලර් 4,358.80 ක් වූ අතර රිදී මිල ද 3% කට වඩා පහත වැටී අවුන්සයක් ඩොලර් 66.93 ක් ලෙස වාර්තා වුණා.

ලොව ප්‍රධාන මුදල් ඒකක හයකට සාපේක්ෂව ඩොලරයේ ශක්තිමත්භාවය මැන බලන ‘ඩොලර් දර්ශකය’ (Dollar Index) 0.5% කින් ඉහළ ගොස් ඇති අතර ඩොලරය ශක්තිමත් වන විට අනෙකුත් මුදල් ඒකක භාවිත කරන ආයෝජකයින්ට රන් මිලදී ගැනීම වඩාත් මිල අධික වන බැවින් රන් සඳහා වන ඉල්ලුම පහත වැටී තිබෙනවා.

පසුගිය ජනවාරි මස අගදී රන් අවුන්සයක මිල ඩොලර් 5,594.82 ක වාර්තාගත උපරිමයකට පැමිණි අතර, එතැන් සිට මේ දක්වා රන් මිල 22% කින් පමණ පහත වැටී තිබෙනවා.

විශේෂයෙන්ම පසුගිය සතියේ රන් මිල 10% කින් පමණ පහළ ගිය අතර එය 2011 සැප්තැම්බර් මාසයෙන් පසු වාර්තා වූ දරුණුතම පසුබෑමයි.

ඉරාන යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ඩොලර් දර්ශකය 3% කින් පමණ ශක්තිමත් වී තිබීමද මෙයට බලපා ඇති බවයි වාර්තා වෙන්නේ.

වෙළඳපොළ නිරීක්ෂකයින් පවසන්නේ මෙම මිල පහත වැටීම සාර්ව ආර්ථික සාධක සහ ආයෝජකයින් සිය ලාභ ලබා ගැනීම (Profit booking) යන කරුණු මත සිදු වූවක් බවයි.

“ඉරාන ගැටුම ආරම්භයේදී ආරක්ෂිත ආයෝජනයක් ලෙස රන් සඳහා ඉල්ලුමක් ඇති වුවද, මෑතකදී මිල ගණන් යළි පහත වැටී තිබෙනවා,” යැයි ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් (Standard Chartered) බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආයෝජන විශේෂඥ රජත් භට්ටාචාර්ය පවසා සිටියා.

වෙළඳපොළ තුළ දැඩි පීඩනයක් ඇති වන අවස්ථාවලදී ආයෝජකයින් මුදල් රැස් කර ගැනීම සඳහා තමන් සතු රන් සංචිත විකුණා දැමීම සාමාන්‍ය ස්වභාවයක් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඇමරිකානු ෆෙඩරල් බැංකුව (Federal Reserve) විසින් පොලී අනුපාත කපා හැරීමට ඇති හැකියාව අඩුවීම සහ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිලාභ (Treasury yields) ඉහළ මට්ටමක පැවතීම ද රන් මිල කෙරෙහි සෘණාත්මකව බලපා තිබෙනවා.

පොලී ගෙවීමක් සිදු නොකරන රන් වැනි වත්කම්වලට වඩා ඉහළ පොලියක් ලැබෙන බැඳුම්කර වෙත ආයෝජකයින් යොමු වීම මෙයට හේතුව බවයි වාර්තා වෙන්නේ.

පසුගිය වසරේදී රන් මිල 64% කින් පමණ අසාමාන්‍ය ලෙස ඉහළ ගිය අතර, වර්තමාන මිල පහත වැටීම ස්වභාවික වෙළඳපොළ සංශෝධනයක් (Market correction) ලෙස ද ඇතැම් විශ්ලේෂකයෝ හඳුන්වනවා.

පසුගිය වසරේ රන් මිල ඉහළ යාමට භූදේශපාලනික අස්ථාවරත්වය, මූල්‍ය හිඟය සහ මහ බැංකු ඩොලර් සංචිතවලින් බැහැරව රන් සංචිත වෙත යොමු වීම වැනි කරුණු බලපා තිබූ බවයි විශ්ලේෂකයින් පවසා සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: