hit counter

2026 මැයි මස 29 වන සිකුරාදා

2026 මැයි 30, පෙ.ව. 12:04



රාජකාරිය මෙන්ම මාතෘත්වයද එකලෙස පෙරදැරි කරගෙන ජීවිතය ජයගන්නට වෙරදැරූ තරුණ ගැබිණි ග්‍රාම නිලධාරිනියක්, අනුරාධපුර ගුවන්තොටුපළ මාර්ගයේදී සිදුවූ අවාසනාවන්ත රිය අනතුරකින් සිය කුසෙහි සිටි බිළිඳාද සමඟින් මෙලොව හැරගොස් තිබේ.

මෙලෙස අකාලයේ දිවියෙන් සමුගෙන ඇත්තේ මහබුලංකුලම 283 තුලානයේ ග්‍රාම නිලධාරීවරිය ලෙස කැපවීමෙන් සේවය කළ, අනුරාධපුරයේ පදිංචිව සිටි 32 හැවිරිදි ආර්. එම්. භාග්‍යා නිළුපුලී වඩුගොඩපිටිය මහත්මියයි.

සිය යතුරුපැදියෙන් තවත් කාන්තාවක සමඟ ගමන් කරමින් සිටියදී, පිටුපසින් පැමිණි සැහැල්ලු ලොරි රථයක ගැටීමෙන් ඉකුත් 18 වනදා මෙම බිහිසුණු අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින කිහිපයක් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි ඇය, ඊයේ (27) අවසන් හුස්ම හෙළූ අතර, ඇය මියයන්නට මත්තෙන් කුස තුළ සිටි සිඟිති දරුවාද මෙලොව එළිය දකින්නටත් පෙරම ජීවිතක්ෂයට පත්ව තිබීම මුළු රටක්ම කඳුළින් තෙත් කරවන සංවේදී පුවතක් විය.

මෙම ඛේදනීය අනතුර සම්බන්ධයෙන් අනුරාධපුර, කුරුන්දන්කුලම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ලොරි රථ රියදුරා කවරක්කුලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, රථවාහන අංශයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: