hit counter

2026 ජූනි මස 12 වන සිකුරාදා

2026 ජූනි 13, පෙ.ව. 12:09



ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට බලපෑම් ඇති කරනු ඇති බවට අපේක්ෂා කරන එල්නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් මෙරට විදුලි ජනනයට දැඩි බලපෑමක් එල්ල වීමේ අවදානමක් ඇති බවට තොරතුරු සඳහන්.

ඒ අනුව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇත්තේ, මෙම තත්ත්වය මත ඉදිරි කාලයේදී ජාතික විදුලිබල පද්ධතියට ගිගාවොට් පැය 127ක (127 GWh) පමණ ධාරිතාවක් අහිමි වනු ඇති බවට බලශක්ති අමාත්‍යාංශයෙන් දැනටමත් පුරෝකථනය කර තිබෙන බවයි.

එබැවින් මෙම අර්බුදකාරී තත්ත්වයට මුහුණ දීම වෙනුවෙන් රජය මේ වන විටත් අවධානය යොමු කර ඇති බව සඳහන්.

මේ අතර ඒ වෙනුවෙන් ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග සහ ඉදිරි පියවර පිළිබඳව බලශක්ති අමාත්‍යාංශය තුළ විශේෂ සාකච්ඡා පවත්වා තිබෙනවා.

කෙසේ වෙතත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඇතිවිය හැකි ඕනෑම තත්ත්වයකට සාර්ථකව මුහුණ දීමට රජය මනාව සූදානමින් සිටින බවත්, මීට සමගාමීව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ද එල්නිනෝ තත්ත්වයේ බලපෑම කළමනාකරණය කිරීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වෙන වෙනම සාකච්ඡා පවත්වා තිබෙන බවත් ය.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා විසින් ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිතය නිසා දැනටමත් විදුලි උත්පාදන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත්, එල්නිනෝ තත්ත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් ජල විදුලි නිෂ්පාදනය අඩාල වීමත් සමඟ එම අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරිය හැකි බවත් පෙන්වා දෙමින් ආහාර නිෂ්පාදනයට සහ විදුලි උත්පාදනයට එල්ල විය හැකි මෙම ඒකාබද්ධ තර්ජනයට මුහුණ දීමට රජය සකස් කර ඇති නිශ්චිත වැඩපිළිවෙළ කුමක්ද යන්න පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අවස්ථාවේදීයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: