hit counter

2026 ජූනි මස 29 වන සඳුදා

2026 ජූනි 30, පෙ.ව. 12:12



ඩෙංගු රෝගය ව්‍යාප්තවීම පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ තවදුරටත් ඉහළ ගොස් ඇත.

ඒ අනුව ඩෙංගු රෝගීන් 19,318ක් ගතවූ ජූනි මාසය තුළ පමණක් ලංකාවෙන් වාර්තා වූ අතර මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 53,000 ඉක්මවා ගියේය. මේ තත්ත්වය මත ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස වසරේ 25 වන සතිය වනවිට දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 124ක් නම්කර ඇත.

මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට ඊයේ දිනය දක්වා දිවයින පුරා වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 53,159ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අද උදෑසන නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 31ක් වන අතර වසරේ ගෙවුණු මුල් මාස 05 තුළම මාසිකව ඩෙංගු රෝගීන් වාර්තාවීම දස දහසට අඩු මට්ටමක පැවතියද, ජුනි මාසයේ ගෙවීගිය දින 28 තුළ පමණක් ඩෙංගු රෝගීන් 19,318ක් වාර්තා වී තිබේ. වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ පළාත ලෙස බස්නාහිර පළාතෙන් රෝගීන් 27,833ක් වාර්තා වී ඇති අතර එය ප්‍රතිශතාත්මකව 52.36%කි.

පවතින තත්ත්වය මධ්‍යයේ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා මදුරුවන් බෝවීම වැළැක්වීමට සහ මදුරු කීටයින්, පිලවුන් විනාශ කිරීමට අවට පරිසරය පිරිසිදු කිරීම පිළිබඳ දැඩි අවදානය යොමුකරන ලෙස සෞඛ්‍ය බලධාරින් ජනතාවට දැනුම්දෙයි.

ඒ අනුව බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාව මගින් ඩෙංගු මර්ධනය සඳහා අවට පරිසරය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් සංවිධානය කර තිබුණි. මේ අතර ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරින් 100කට ආසන්න ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් ඊයේ තවත් ශ්‍රමදානයක් පැවැත්වුණි. ඒ ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: