hit counter

2026 ජූලි මස 01 වන බදාදා

2026 ජූලි 02, පෙ.ව. 12:35



 රජය විසින් රාජ්‍ය සේවකයන්ට ‘ලීසිං’ ක්‍රමයට සහල් ලබාදෙන බවට විපක්ෂය සහ ඇතැම් මාධ්‍ය පතුරුවන ප්‍රකාශ සත්‍යයෙන් තොර බවත්, රජයේ සැබෑ අරමුණ වී ගබඩා හිස් කර ඉදිරි අස්වැන්න සඳහා ගොවියාට සාධාරණ මිලක් තහවුරු කිරීම බවත් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, 2025 වසරේ මෙරට වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 5.03ක් වූ අතර, එය සහල් බවට පත් කළ විට මෙට්‍රික් ටොන් ලක්ෂ 32ක් පමණ වන බවයි. මෙරට වාර්ෂික සහල් පරිභෝජනය ලක්ෂ 24ක් වන බැවින්, ලක්ෂ 8ක පමණ සහල් අතිරික්තයක් පවතින බව ඔහු දත්ත සහිතව පැහැදිලි කළේය.

පසුගිය කාලයේ කීරි සම්බා අස්වැන්න සියයට 6ක් දක්වා පහළ යාම ප්‍රයෝජනයට ගනිමින් මෝල් හිමියන් සහල් කිලෝව රුපියල් 400 දක්වා ඉහළ දැමූ බව අමාත්‍යවරයා සිහිපත් කළේය. ඊට පිළියමක් ලෙස රජය මැදිහත් වී ‘කීරි පොන්නි’ සහ ‘GR11’ වැනි ආදේශක සහල් වෙළඳපොළට හඳුන්වා දීම හරහා එම මිල රුපියල් 230-255 දක්වා පහත හෙළීමට සමත් වූ බව ඔහු සඳහන් කළේය.

“අපිට දැන් තියෙන ප්‍රශ්නය තමයි ඊළඟ යළ කන්නයේ වී මිලදී ගන්න ගබඩාවල ඉඩ නැති එක. ඒ නිසා අපි තීරණය කළා වී අලෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසෙන් (120,000) භාගයක් ටෙන්ඩර් මගින් සහල් කරලා සතොස සහ සමුපකාර හරහා ජනතාවට ලබාදෙන්න. මේක ලීසිං දීමක් නෙවෙයි, ගබඩා හිස් කරලා ගොවියාගේ අලුත් අස්වැන්න මිලදී ගන්න කරන සූදානමක්” යැයි අමාත්‍යවරයා පැවසීය.

යළ කන්නයේ අස්වැන්න නෙළීම මේ වන විට ආරම්භ වී ඇති බැවින්, ගොවියාට අසාධාරණයක් නොවීමට රජය මැදිහත් වන බව ඔහු අවධාරණය කළේය. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120කට ද, සම්බා 130කට සහ කීරි සම්බා 140කට ද මිලදී ගැනීමට රජය මුදල් වෙන් කර ඇති බව ඔහු පැවසීය.

පවතින සහල් අතිරික්තය කළමනාකරණය කරමින් පාරිභෝගිකයාට සහන සැලසීමටත්, ගොවියාගේ අස්වැන්නට නිසි මිලක් ලබාදීමටත් රජය ගෙන යන මෙම වැඩපිළිවෙළට සහය වන ලෙස අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙරට පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: