hit counter

2026 ඔක්‍තෝබර් මස 08 වන බ්‍රහස්පතින්දා

2026 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:09



පසුගිය පාලන සමයන්හිදී ආර්ථික වශයෙන් ඉතියෝපියාවටත් වඩා අගාධයකට ඇදවැටී තිබූ ශ්‍රී ලංකාව, වත්මන් ආණ්ඩුවේ නිවැරදි ක්‍රියාමාර්ග ඔස්සේ මේ වන විට යළි යහපත් මට්ටමකට ගොඩනැගීමට සමත්ව ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

ජනහමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පෙන්වා දුන්නේ, රට බංකොලොත් කිරීමට වගකිවයුත්තන් අතර හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ තිදෙනෙකුගේ නම් නිල වශයෙන් ප්‍රකාශයට පත්ව තිබූ බවයි. පසුගිය අර්බුදකාරී සමයේදී මෙරට විදේශ සංචිත ශුන්‍ය වී, ආර්ථික වර්ධන වේගය දැඩි පසුබෑමකට ලක්ව, මුදල් අච්චු ගැසීම හේතුවෙන් රුපියලේ අගය මුළුමනින්ම බිඳවැටී තිබූ අයුරු ද ඔහු සිහිපත් කළේය.

එදා අසල්වැසි ඉන්දියාවේ වෙළෙඳසැල්වල පවා මෙරට ජනතාවට ආධාර එකතු කිරීමට කැට තබන තරමට රට අසරණ තත්ත්වයකට පත්ව තිබූ බව හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත්, වත්මන් පාලනය යටතේ එම තත්ත්වය මුළුමනින්ම වෙනස් කරමින් මේ වන විට රට යහපත් ආර්ථික මාවතකට අවතීර්ණ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ඒ අනුව, විදේශ විනිමය සංචිතය ඩොලර් කෝටි 700 සීමාව දක්වා වර්ධනය කරගෙන ඇති අතර, වාහන ආනයනය සඳහා පමණක් ඩොලර් කෝටි 200 කට ආසන්න මුදලක් වෙන්කිරීමට පවා හැකියාව ලැබී තිබේ. සෘණ අගයක පැවති ආර්ථික වර්ධන වේගය සියයට පහ ඉක්මවූ ධන අගයක් කරා ගෙන ඒමට ද හැකිව ඇත.

මීට අමතරව, ලෝක සතුටු දර්ශකයේ රටවල් 14 ක් සහ ගෝලීය සාම දර්ශකයේ රටවල් 20 ක් පසුකරමින් ශ්‍රී ලංකාව පෙරමුණට පැමිණ ඇති බව පෙන්වා දුන් ඒ මහතා, ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් ලෙස යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවට ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා පිළිගෙන ඇති බව පැවසීය.

ශ්‍රී ලංකාව තවමත් ඉහළ ආදායම් ලබන රටක් බවට පත්ව නොමැති වුවද, රට වැටී තිබූ බරපතළ අගාධයෙන් ගොඩගෙන නිවැරදි දිශානතියකට යොමු කර ඇති බව ජනතාව තේරුම් ගත යුතු යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: