hit counter

2026 ජූලි මස 05 වන ඉරිදා

2026 ජූලි 05, ප.ව. 4:08



ලංකාවේ කඳුකර කලාපයේ පවතින නායයෑම් තර්ජනයට තිරසාර විසඳුමක් ලෙස ජීව අනුකරණ (Biomimicry) තාක්ෂණය ඇසුරින් නිර්මාණය කළ ‘SpiderNail’ නැමැති නව භූ-තාක්ෂණික සංකල්පයක් හඳුන්වා දී ඇත. මෙමගින් යටිතල පහසුකම් සංවර්ධන පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පසුගියදා බලපෑ ‘දිත්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් සිදු වූ හානිවලට ප්‍රතිචාරයක් ලෙස මෙම ක්‍රමය නිපදවා ඇත. සාම්ප්‍රදායික රඳවා ගැනීමේ බැමි මෙන් නොව, මකුළු දැලක ඇති ආතති ව්‍යාප්ති තාක්ෂණය (structural mechanics) ආදර්ශයට ගනිමින් මෙම පද්ධතිය සැලසුම් කර තිබේ.

ඒ අනුව, එකිනෙකට සම්බන්ධ කරන ලද ශක්තිමත් ආධාරක පද්ධතියක් මගින් පස් කන්දේ බර ඒකාකාරව බෙදා හැරීම සිදු කරන බැවින්, මේ සඳහා වැය වන අමුද්‍රව්‍ය ප්‍රමාණය ද සීමා වේ.

පර්යේෂණ දත්තවලට අනුව, දැනට භාවිත කරන සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ට සාපේක්ෂව මෙම ‘SpiderNail’ ක්‍රමය මගින් ඉදිකිරීම් පිරිවැය සියයට 30කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කර ගත හැකිය. එමෙන්ම, කොන්ක්‍රීට් භාවිතය අවම වන බැවින් පරිසරයට සිදුවන හානිය (carbon footprint) අවම වන අතර, පරිසර පද්ධතිය සමග ද පහසුවෙන් බද්ධ වේ.

ජූනි 12 වනදා මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්වුණු “Economical Restoration of Cyclone Ditwah Damages – Reinventing Geotechnics for the Protection of Sri Lanka’s Upcountry” නමැති තාක්ෂණික සම්මන්ත්‍රණයේදී මෙම නව සංකල්පය ප්‍රකාශයට පත් කෙරිණි. ‘SoilTech’ සහ ‘Kohu Kreations’ ආයතන එක්ව සංවිධානය කළ මෙම සැසිය සඳහා තරුණ ඉංජිනේරුවන් කණ්ඩායමක් තම පර්යේෂණ දායකත්වය සපයා තිබුණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මෙන්ම භූ-තාක්ෂණික ඉංජිනේරුවරයෙකු ද වන මහාචාර්ය සරත් අබේකෝන් මෙහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ අතර, මාර්ග සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඇතුළු රාජ්‍ය හා විශ්වවිද්‍යාල නියෝජිතයෝ පිරිසක් ද මීට එක්ව සිටියහ.

මීට අමතරව, ‘CrackGuard’ නමැති තාක්ෂණය, කෘතිම බුද්ධිය (AI) ආශ්‍රිත නායයෑම් නිරීක්ෂණ පද්ධති සහ හරිත බෑවුම් ඉංජිනේරු ආකෘති (green slope engineering) කිහිපයක් ද මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි.

ඉදිරියේදී සිදු කිරීමට නියමිත ක්ෂේත්‍ර පරීක්ෂණවලින් අනතුරුව මෙම ‘SpiderNail’ තාක්ෂණය මෙරට පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද භාවිත කළ හැකි විසඳුමක් වනු ඇතැයි සංවිධායකයෝ විශ්වාසය පළ කරති.