hit counter

2026 ජූලි මස 06 වන සඳුදා

2026 ජූලි 07, පෙ.ව. 12:16



 ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගී තත්ත්වය සම්බන්ධයෙන් රජයේ දේශපාලන අධිකාරිය සහ සෞඛ්‍ය අංශයේ විශේෂඥයින් පරස්පර අදහස් පළ කිරීම හේතුවෙන් මහජනතාව දැඩි ව්‍යාකූලත්වයකට පත්ව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ වත්මන් ඩෙංගු ව්‍යාප්තියට හේතුව ‘නව වෛරස් ප්‍රභේදයක්’ බවට අග්‍රාමාත්‍යවරිය ඇතුළු ආණ්ඩුවේ දේශපාලනඥයින් ප්‍රකාශ කළ ද, වසංගත රෝග විද්‍යාඥයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරීන් එවැනි නව ප්‍රභේදයක පැතිරීමක් ප්‍රතික්ෂේප කරන බවයි. මෙම තත්ත්වය හමුවේ සත්‍ය තොරතුරු දැනගැනීමට ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය වී ඇති බව ඔහු සඳහන් කරයි.

මේ වන විට මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 60,000 ඉක්මවා ගොස් ඇති අතර, රජයේ රෝහල් පමණක් නොව පෞද්ගලික රෝහල් ද සිය උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ. රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනය හමුවේ රෝහල් පද්ධතිය දැඩි පීඩනයකට ලක්ව ඇති බව වෛද්‍ය සංගම් පෙන්වා දෙයි.

පසුගිය කාලසීමාව තුළ මදුරුවන් බෝවන ස්ථාන ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ පළාත් පාලන මෙන්ම නාගරික මට්ටමින් පරිසර පවිත්‍රතා කටයුතු නිසි පරිදි සිදු නොවීම මෙම වසංගත තත්ත්වය උග්‍ර වීමට ප්‍රධාන හේතු වී තිබේ. රෝගී තත්ත්වය වසංගතයක් දක්වා වර්ධනය වීමට පෙර මදුරු ගහනය පාලනය කිරීමට අවශ්‍ය ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වීම කණගාටුවට කරුණක් බව ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අවධාරණය කළේය.

පවතින අර්බුදකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා රෝහල්වල පවතින රසායනාගාර පහසුකම්වල අඩුපාඩු කඩිනමින් සම්පූර්ණ කළ යුතු බවත්, රෝගී කළමනාකරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කළ යුතු බවත් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය රජයෙන් ඉල්ලා සිටියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: