hit counter

2026 අගෝස්‍තු මස 03 වන සඳුදා

2026 අගෝස්‍තු 04, පෙ.ව. 12:18



දැනට සුව­සැ­රිය – 1990 සේවාවේ 319 ක්ව පව­තින ගිල­න්රථ සංඛ්‍යාව මේ වසර අව­සන් වන විට 470 ක් දක්වා ඉහළ නැංවී­මට රජය පිය­වර ගන්නා බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය.

සුව­සැ­රිය සඳහා ගිල­න්රථ 100ක් ලබා­දී­මට ඉන්දි­යානු රජය කට­යුතු කර­මින් සිටින අතර, එම වැඩ­පි­ළි­වෙළ මේ වන­විට අව­සන් අදි­යරේ පව­තින බවත් එම ගිල­න්රථ මෙම වසර අව­සන් වීමට පෙර සුව­සැ­රිය සේවා­වට එක් කිරී­මට අපේක්ෂා කරන බවත් ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

ටාටා පද­නමේ සහ­යෝ­ග­යෙන් තවත් ගිල­න්රථ 50ක් ලබා­ගැ­නී­මට නිය­මිත බවත් අමා­ත්‍ය­ව­රයා පැව­සු­වේය.

මෙම සේවාව වැඩි­දි­යුණු කිරීම සඳහා අඛණ්ඩ සහ­යෝ­ගය ලබා­දෙන ඉන්දි­යානු රජ­යට, ඉන්දි­යානු අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාට, ඉන්දි­යානු ජන­තා­වට, ශ්‍රී ලංකාවේ ඉන්දි­යානු මහ කොම­සා­රි­ස්ව­රයා ඇතුළු මහ කොම­සා­රිස් කාර්යා­ලයේ සියලු නිල­ධා­රීන්ට ශ්‍රී ලංකාවේ ගෞර­වය හා ස්තුතිය පළ කරන බවද අමා­ත්‍ය­ව­රයා ප්‍රකාශ කළේය.

දස වස­රක් පුරා ශ්‍රී ලාංකේය ජන­තා­වගේ හදිසි සෞඛ්‍ය අව­ශ්‍යතා වෙනු­වෙන් අඛණ්ඩ කැප­වී­මෙන්, කාර්ය­ක්ෂ­ම­තා­ව­යෙන් සහ මානු­ෂී­ය­ත්ව­යෙන් ඉටු කළ සුවි­ශේෂී මෙහෙ­වර අග­ය­මින් 1990 සුව­සැ­රිය පද­නමේ දස වස­රක අභි­මා­න­වත් සේවා සැම­රුම් උත්ස­වය සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන්, සුව­සැ­රිය පද­නමේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොම­සා­රිස් සන්තෝෂ් ජා යන මහ­ත්ව­රුන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් පසු­ගි­යදා (31) පෙර­ව­රුවේ කොළඹ, ශ්‍රී ලංකා පද­නම් ආය­ත­නයේ ශ්‍රව­ණා­ගා­ර­යේදී උත්ක­ර්ෂ­වත් අයු­රින් පැවැ­ත්විණි. එම අව­ස්ථා­වට එක්වෙ­මින් ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

ඉන්දි­යානු රජය හා ජන­තා­වගේ පරි­ත්‍යා­ග­ශීලී දාය­ක­ත්ව­යෙන් 2016 ජූලි 28 වැනිදා ගිලන් රථ 88 කින් ආරම්භ වූ 1990 සුව­සැ­රිය ගිලන් රථ සේවය, නොමිලේ පූර්ව රෝහල් හදිසි ප්‍රති­චාර සේවා­වක් ලෙස මෙරට සෞඛ්‍ය සේවාවේ නව පරි­ච්ඡේ­ද­යක් ආරම්භ කළේය. අද වන විට ගිලන් රථ 319කින් සම­න්විත ජාතික හදිසි ප්‍රති­චාර සේවා­වක් ලෙස එය රට පුරා ජන­තා­වගේ විශ්වා­සය දිනා­ගෙන තිබේ.

පසු­ගිය දස වසර තුළ 1990 සුව­සැ­රිය කාර්ය මණ්ඩ­ලය මිලි­යන 10කට අධික හදිසි දුර­ක­තන ඇම­තු­ම්ව­ලට ප්‍රති­චාර දක්ව­මින්, මිලි­යන 2.6කට අධික හදිසි අව­ස්ථා­ව­න්හිදී රෝගීන් වෙත කඩි­නම් ජීවි­තා­ර­ක්ෂක සේවාව ලබාදී ඇත. පැය 24 පුරා, සතියේ දින හතම, වසර පුරා අඛ­ණ්ඩව ක්‍රියා­ත්මක වන මෙම සේවාව, හදිසි ප්‍රති­කාර අවශ්‍ය ජන­තා­වට බලා­පො­රො­ත්තුවේ පළමු නැව­තුම බවට පත්ව ඇත.

සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය යටතේ සේවය කරන සෑම පුද්ග­ල­ය­කු­ටම තවත් මිනි­ස­කුගේ ජීවි­ත­යක් සුර­ක්ෂිත කිරීමේ අව­ස්ථාව හිමි­වන නමුත්, 1990 සුව­සැ­රිය කණ්ඩා­ය­මට එම අව­ස්ථාව හිමි­වන්නේ ජීවි­ත­යක් අව­දා­න­ම­කට ලක්ව ඇති අති­ශය තීර­ණා­ත්මක මොහො­ත­කදී කඩි­න­මින් මැදි­හත්ව එම ජීවි­තය බේරා ගැනීමේ වග­කී­මත් සමඟ බව ද ඇමැ­ති­ව­රයා පැව­සීය.

සුව­සැ­රිය සේවාවේ කැප­වීම හේතු­වෙන් අද දරු­ව­කුට තම මව හෝ පියා සමඟ ජීවි­තය ඉදි­රි­යට ගෙන යෑම­ටත්, බිරි­ය­කට තම සැමියා සම­ඟත්, සැමි­ය­කුට තම බිරිය සම­ඟත්, ඥාතීන්ට තම ආද­ර­ණී­ය­යන් සම­ඟත්, මිතු­රන්ට තම මිතුරු සබ­ඳතා සම­ඟත් තව­දු­ර­ටත් ජීවි­තය බෙදා ගැනී­මට අව­ස්ථාව උදා වී ඇති බව අමා­ත්‍ය­ව­රයා පැව­සීය.

ජීවිත මිලි­යන ගණ­නා­ව­කට බලා­පො­රො­ත්තුව ගෙනා අභි­මා­න­වත් මෙහෙ­ව­රක දස වස­රක සුව­සැ­රිය ඉති­හා­සයේ වැද­ගත් පරි­ච්ඡේ­ද­යක් බව ද ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

සුව­සැ­රිය කණ්ඩා­යම විසින් බේරා­ගනු ලබන සෑම ජීවි­ත­යක් පිටු­ප­සම පවු­ලක සතු­ටක්, බලා­පො­රො­ත්තු­වක් සහ අනා­ග­ත­යක් රැඳී පව­තින බව ද අමා­ත්‍ය­ව­රයා පැව­සු­වේය.

ඔවුන් විසින් බේරා­ගන්නා එක් ජීවි­ත­යක් යනු එක් පුද්ග­ල­ය­කුගේ ජීවි­ත­යක් පම­ණක් නොව, එම පුද්ග­ලයා සමඟ බැඳුණු පවු­ලක සහ සමා­ජ­යක බලා­පො­රොත්තු රැසක් ආරක්ෂා කිරී­මක් බව ද අමා­ත්‍ය­ව­රයා ප්‍රකාශ කළේය.

මෙලොව එළිය දැකී­ම­ටත් පෙර ජීවි­තය අහිමි වීමේ අව­දා­න­ම­කට මුහුණ දී සිටි බිලි­ඳකු වුවද, සුව­සැ­රිය කණ්ඩා­යමේ කඩි­නම් මැදි­හ­ත්වීම හේතු­වෙන් අද වන ­විට සමා­ජයේ ජීව­ත්වන දරු­වකු බවට පත්ව සිටිය හැකි බවත්, එවැනි ජීවිත කතා රැසක් මෙම සේවාව සමඟ බැඳී පව­තින බවත් අමා­ත්‍ය­ව­රයා අව­ධා­ර­ණය කළේය.

වසර දහ­යක් පුරා 1990 සුව­සැ­රිය සේවාව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ඉති­හා­සය තුළ සුවි­ශේෂී පරි­ච්ඡේ­ද­යක් සනි­ටු­හන් කර ඇති බවත්, දුර­ක­තන ඇම­තු­ම­කින් ආරම්භ වන එම සේවාවේ සෑම මැදි­හ­ත්වී­මක්ම මනුෂ්‍ය ජීවි­ත­යක් ආරක්ෂා කිරීමේ උතුම් මෙහෙ­ව­රක් බවත් අමා­ත්‍ය­ව­රයා පැව­සු­වේය.

එක් එක් ජීවි­ත­යක් බේරා ගැනීම තුළින් එම ජීවි­තයේ වටි­නා­කම පම­ණක් නොව, එය වටා ගොඩ­නැ­ඟුණු පවු­ලක, සමා­ජ­යක සහ රටක අනා­ග­තය ද සුර­ක්ෂිත වන බවත්, ඒ අනුව සුව­සැ­රිය සේවාව මනු­ෂ්‍ය­ත්වය වෙනු­වෙන් ඉටු­ක­රන අති­ශය වැද­ගත් ජාතික මෙහෙ­ව­රක් බවත් අමා­ත්‍ය­ව­රයා පැව­සීය.

2016 වස­රේදී මෙම සංක­ල්පය යථා­ර්ථ­යක් බවට පත් කිරීම සඳහා කැපවී කට­යුතු කළ පාර්ලි­මේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ඇතුළු ඒ සඳහා දායක වූ සියලු දේශ­පා­ලන නියෝ­ජි­ත­ය­න්ටත්, විවිධ අභි­යෝග හමුවේ මෙම සේවාව අඛ­ණ්ඩව පව­ත්වා­ගෙන යෑම සඳහා දායක වූ හිටපු සෞඛ්‍ය අමා­ත්‍ය­ව­රු­න්ටත්, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­රුන් ඇතුළු සියලු නිල­ධා­රී­න්ටත් ජාතියේ ගෞර­වය හිමි විය යුතු බව ද අමා­ත්‍ය­ව­රයා අව­ධා­ර­ණය කළේය.

සුව­සැ­රිය සේවාව ආරම්භ කිරීමේ සිට මේ දක්වා එහි සාර්ථ­ක­ත්වය වෙනු­වෙන් ඉන්දි­යානු රජය ලබා­දුන් සහ­යෝ­ගය ශ්‍රී ලංකාව කෘත­ඥ­තා­ව­යෙන් සිහි­පත් කළ යුතු බවද අමා­ත්‍ය­ව­රයා පැව­සීය.

වසර දහ­යක් පුරා 1990 සුව­සැ­රිය විසින් ගොඩ­නඟා ඇති පූර්ව රෝහල් හදිසි ප්‍රති­කාර සේවාවේ අත්දැ­කීම් සහ දැනුම උප­යෝගී කර­ග­නි­මින්, දැනට පව­තින ගිල­න්රථ සේවාව තව­දු­ර­ටත් විධි­මත් හා ශක්ති­මත් කර ජාතික ගිල­න්රථ සේවා­වක් බවට පරි­ව­ර්ත­නය කිරීම සඳහා අවශ්‍ය වැඩ­පි­ළි­වෙළ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය විසින් ක්‍රියා­ත්මක කර­මින් පව­තින බව ද ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

මෙහිදී අද­හස් දැක්වූ පාර්ලි­මේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳ­හන් කළේ, නව දේශ­පා­ලන සංස්කෘ­ති­යක් ලෙස යහ­පත් වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කළ පසු එය කවු­රුන් විසින් ආරම්භ කළේද යන්න මත නතර කිරී­මට හෝ වෙනස් කිරී­මට අවශ්‍ය නොවන බවය.

සුව­සැ­රිය ගිලන් රථ සේවාව එයට කදිම උදා­හ­ර­ණ­යක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෛත්‍රී­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­ව­ර­යාගේ පාලන සම­යේදී ආරම්භ කළ මෙම ජනතා හිත­වාදී සේවාව, ඉන් අන­තු­රුව ගෝඨා­භය රාජ­පක්ෂ, රනිල් වික්‍ර­ම­සිංහ සහ වත්මන් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ පාලන සම­යන් තුළදී අඛ­ණ්ඩව සංව­ර්ධ­නය වෙමින් ජන­තා­වට වඩාත් පුළුල් සේවා­වක් ලබා­දෙන තත්ත්ව­යට පත්ව ඇති බව ද ඒ මහතා පැව­සු­වේය.

සුව­සැ­රිය සේවාවේ දස වස­රක සැම­රුම් උත්ස­ව­යට තමන් වෙත ආරා­ධනා කිරීම සම්බ­න්ධ­යෙන් සිය කෘත­ඥ­තාව පළ කළ පාර්ලි­මේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, මෙම සේවාව අති­ශය අභි­යෝ­ගා­ත්මක කාල­ප­රි­ච්ඡේ­ද­යක් පසු­ක­ර­මින් වර්ත­මා­නය දක්වා පැමිණ ඇති බව ද වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොම­සා­රිස් සන්තෝෂ් ජා මහතා මෙහිදී අද­හස් දක්වීය.

මෙම අව­ස්ථා­වට සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාංශ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අති­රේක ලේකම් විශේ­ෂඥ වෛද්‍ය කුමාර වික්‍ර­ම­සිංහ, 1990 සුව­සැ­රිය පද­නමේ සභා­පති විශ්‍රා­මික මේජර් නිරෝ­ෂන් රත්නා­යක මහ­ත්ව­රුන් ඇතුළු සුව­සැ­රිය පද­නමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමා­ජි­ක­යන්, සේවයේ නියුතු හදිසි වෛද්‍ය තාක්ෂ­ණික නිල­ධා­රීන්, ගිල­න්රථ නිය­මු­වන්, හදිසි ප්‍රති­චාර නිල­ධා­රීන් ඇතුළු 1990 සුව­සැ­රිය පද­නමේ සියලු කාර්ය මණ්ඩ­ලය නියෝ­ජ­නය කර­මින් පිරි­සක් එක්ව සිටි­යහ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: