hit counter

2026 අගෝස්‍තු මස 06 වන බ්‍රහස්පතින්දා

2026 අගෝස්‍තු 06, ප.ව. 1:45



දේශීය සංගීත ක්ෂේත්‍රය මුදල් සංසරණය වන විශාල කර්මාන්තයක් වුවද, ගීතයක මුල් නිර්මාණකරුවන් වන ගීත රචකයන්ට සහ සංගීතඥයන්ට හිමිවිය යුතු කතෘ භාග හිමිකම් තවමත් නිසි පරිදි නොලැබෙන බවත්, එම තත්ත්වය වහා වෙනස් විය යුතු බවත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් අවධාරණය කරනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා නිර්මාතෘවරුන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (APCOSL) මගින් පසුගිය 4 වැනිදා කොළඹදී සංවිධානය කර තිබූ “ජාතික ප්‍රකාශන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනට” එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ ප්‍රවීණ ගීත රචක නිලාර් එන්. කාසිම් මහතා පෙන්වා දුන්නේ, සංගීතය ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වන්නේ නම් ඊට දායක වන සියලුම ශිල්පීන්ට නිසි වටිනාකම ගෙවිය යුතු බවයි.

ප්‍රසංගවලදී ගායක ගායිකාවන්ට ගෙවීම් සිදුවුවද, එම ගීතයේ මුල් හිමිකරුවන් වන රචකයාට සහ සංගීතවේදීන්ට ගෙවීම් නොකිරීමේ අඩුව වහා නිවැරදි විය යුතු බවද ඔහු පැවසුවා.

APCOSL ආයතනයේ ප්‍රධාන වගකීම නිර්මාණ රැකගැනීම, සංරක්ෂණය සහ කතෘ භාග එකතු කර සාධාරණව බෙදා හැරීම බවත්, මේ පිළිබඳව ක්ෂේත්‍රයේ සැමදෙනා තවදුරටත් දැනුවත් විය යුතු බවත් ප්‍රවීණ ගීත රචක හා ගායක කැලුම් ශ්‍රීමාල් මහතා මෙහිදී සඳහන් කළා.

එමෙන්ම ජනප්‍රිය ගායන ශිල්පී භාතිය ජයකොඩි මහතා අදහස් දක්වමින් කියා සිටියේ, බුද්ධිමය දේපළ අයිතිය සහ ප්‍රකාශන හිමිකම් (Copyright) නීති සකස් කිරීමට යාමේදී නිසි අවබෝධයක් නොමැතිකම නිසා නිර්මාණකරුවන් අභ්‍යන්තරව ගැටුම් ඇති කරගන්නා බවයි.

මෙරට සංගීත ක්ෂේත්‍රය තවමත් විධිමත් කර්මාන්තයක් ලෙස ස්ථාපිත වී නොමැති බව පෙන්වා දුන් ඒ මහතා, හැඟීම්වලට වහල් නොවී බුද්ධිමත්ව කටයුතු කර මෙම බුද්ධිමය දේපළ හිමිකම් සකසා ගැනීමට ලැබෙන අවසාන අවස්ථාව මෙය විය හැකි බවද වැඩිදුරටත් සඳහන් කළා.