hit counter

2026 අගෝස්‍තු මස 21 වන සිකුරාදා

2026 අගෝස්‍තු 21, පෙ.ව. 11:38



ප්‍රවීණ සංගීතවේදී දයාන් විතාරණ මහතා, තමන් සංගීතය හැදෑරූ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් සංවේදී සටහනක් සමඟ අතීත මතකයන් රැගත් ඡායාරූප රැසක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබෙනවා.

මේ තරම් විසල් අහසක් සෝ දුකින් පුරවා, ජාතියේ යශෝරාවය අපෙන් දුරස් වූ වග කෙසේ නම් අදහාගන්නේ ද අප ……………………

ජාතියේ යශෝරාවය ලෙසින් එදා මෙදාතුර මෙන්ම මතු මතුවටත් නොමද සම්භාවනාවට පාත්‍ර වන අග්‍රගන්‍ය ගායනවේදිනී ආචාර්ය නන්දා මාලනිය අද සිය ජීවන ගීතය ගයා නිම කළාය.

මම කුඩා කල පාසැල් යන අවදියේ මගේ පියා කියා දුන්නේ, ගුරුවරුන්ට මැඩම් සහ සර් යනුවෙන් අමතන ලෙස ය. මම ද ඒ අනුව යමින් මට ශිල්ප ලබා දුන් සැමට කතා බහ කළේ එලෙසින් ය. නමුත් මා නන්දා මාලනියන්ගේ සංගීත ආශ්‍රමයට එක්වුණ පසු එහි ඒ වන විටත් සිටි සියල්ලෝ ම ඇයට ඇමතුවේ නන්දා මිස් නිසා බැවින් මම ද එම ආමන්ත්‍රණයට හුරුවූවෙමි. එනිසා අද වනතුරු ම මගේ ජීවිතයේ මම මිස් යනුවෙන් ආමන්ත්‍රණය කර ඇත්තේ මගේ ආදරණීය නන්දා මිස්ට පමණක් ම ය.

1982 වසරේ “නන්දා මාලනී සංගීත ආශ්‍රමය” ලෙසින් තම නාමයෙන් ම ආරම්භ කළ සංගීත ශිල්ප ශාලිකාවේ මුල්ම සිසු පිරිස නියෝජනය කරමින් සංගීත ශාස්ත්‍ර ලැබීමට හැකිවීම මගේ ජීවිතයේ ලද විශාල ආශිර්වාදයකි. ඇය වැනි මුළු මහත් දේශයකම සබහුමාන ලද ගුරුවරියකගෙන් ශාස්ත්‍ර ලැබීමට මා භාග්‍යවන්ත වූ අතර ඇගෙන් මා සංගීතය උගෙන භාත්ඛාණ්ඩේ ප්‍රථමා විභාගය ද සමත් වූවෙමි. එහෙත් පසුකාලීනව මා ඡායාරූප ශිල්පියෙක් ලෙසින් කටයුතු කිරීමත් සමගින් මගේ ගායන සහ සංගීත කටයුතු අතරමග නැවතුණු නමුදු යළිත් වතාවක් මගේ සංගීත කටයුතු ආරම්භ කිරීමට පදනම වූවේ ද මගේ ගුරුතුමිය වූ නන්දා මිස් විසින් ම ය.

ඒ 1999 වසරේ නන්දා මිස්ගේ “මලට රේණු සේ” සංගත තැටියට සහ කැසට් පටයට ඡායාරූප ගැනීම සඳහා ඇය මගේ චිත්‍රාගාරයට පැමිණි දිනයේ ය. එදින ඇය යළිත් මා හට ගායනයට අවතීර්ණ වන ලෙස කළ ඇරයුම මම මහත් බැතියෙන් භාරගතිමි. එදින එම අවස්ථාවේ මගේ චිත්‍රාගාරයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ද සිටි බැවින් නන්දා මිස්ගේ මැදිහත්වීම මත මම සුනිල් සර් හට මා වෙනුවෙන් ගීතයක් රචනා කර දෙන ලෙස ඉල්ලීමක් කළෙමි. එම ඉල්ලීම නිහතමානීව පිළිගනිමින් සුනිල් සර් මට ලියා දුන් “වැටෙන් එහා………..” ගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කළ අතර එහි පටිගත කිරීම් සිදු වූයේ 1999 වසරේ අග භාගයේ දී ය. 2000 වසරේ මුල් භාගයේ ස්වර්ණවාහිනියේ “මිලේනියම් හිට්ස්” වැඩසටහන ඔස්සේ එම ගීතය රසිකයන් වෙතට ප්‍රචාරය වූ අතර මගේ මුල්ම ගීතය වූ එම “වැටෙන් එහා………..” ගීතය අදටත් මගේ ගීතාවලිය මහත් ආලෝකයකි.

එලෙසින් මා ගායකයෙක් ලෙස කරළියට පැමිණ කෙටි කලක් ගත වූ පසු පණ්ඩිත් අමරදේවයන් මැක්සියස් සම්මානය ලැබූ දිනයේ නන්දා මිස් මා හට ඇය සමගින් යුග ගීතයක් ගයමු යැයි කළ ආරාධනාව අදටත් මගේ ජීවිතයේ මා ලද ඉහළතම සම්මාන යැයි හැඟේ. බන්දුල නානායක්කාරවසම් විසින් පද ගෙත්තම් කර දුන් එම ගීතය නම් “මේ තරම් විසල් අහසක් ………….” නම් ගීතයයි. එහි ගැයෙන ලෙසටම ඇය අප ගී කෙතට විසල අහසක් ම ය. කෙතරම් තරු පෑයුවද ඇගේ ශ්වේතාලෝකය අන් සියල්ල අභිඹවමින් ජනතා ප්‍රසාදයෙන් අග සම්මානිත වන්නීය. ඇගේ තරු ගුණය ගණින්නට අඹරත තරු ප්‍රමාණවත් නැත. ඇය ජාතියේ යශෝරාවයම වන්නේ එනිසාවෙන් ය.

මෑතක් වනතුරු ම සක්‍රීයව ගායනයෙහි නියැළුණු නන්දා මිස්, මෑතකදී ද “ද නිව්ස් පේපර්” සහ “ක්ෂීර සාගරය කැළඹිණ” යන චිත්‍රපට වෙනුවෙන් ගැයූ ගී බොහෝ දෙනාගේ පැසසුමට මෙන්ම ඇතැම් උළෙලවල දී සම්මානයන්ට පවා පාත්‍ර වීය.

මගේ ඡායාරූප දිවියේ 40 වසරකටත් අධික කාලයක් මුළුල්ලේ, එහි ආරම්භයේ පටන් අද තෙක් ම මා විටින් විට නන්දා මවිසින් ඡායාරූප ගත කොට ඇත්තෙමි. ඇය එම ඡායාරූප දෙස බැලුවේ ද මහත් වූ සෙනෙහසින් යැයි මේ මොහොතේ පවා මට මැවි මැවී පෙනෙන්නට වෙයි.

ජාතියට ම සුතුරක් හා සමාන මව්වත් හඬරාවය වූ නන්දා මිස්ගේ වියෝව අප සැමට මහත් කම්පනයකි. එතුමියගේ පවුලේ ඥාතීන් හට මගේ සාතිශය සංවේගය මෙයින් දන්වමි.

නන්දා මිස්ගේ නිසල දේහය හෙට දින එතුමිය විසූ අංක 30 විජයබා මාවත, නාවල, නුගේගොඩ ලිපිනය දරන නිවසේ උදෑසන 10’සිට මහජන ගෞරවය දැක්වීම වෙනුවෙන් තැන්පත් කෙරෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු සෙනසුරාදා සවස 3’න් පසුව බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකෙරෙනු ඇත.

නන්දා මිස්ට උතුම් නිර්වාණ ස්වර්ණ ද්වාරය දුරක නොවේවායි පිංපෙත් පමුණුවමි!!!





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: