hit counter

2026 සැප්‍තැම්‍බර් මස 02 වන බදාදා

2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:19



ගණිකාවකගේ ජීවිතය ඇසුරුකරගෙන නිර්මාණය කරන ලද අභිසාරී චිත්‍රපටය මේ දිනවල ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද සාර්ථකව තිරගතවෙනවා. රිදී තිරය තුළ කවදත් සරාගී ගින්දරියක් වුණ පබෝදා සන්දීපනී විසිනුයි ගණිකාවකගේ කතාව ප්‍රේක්ෂකයො අතරට ගෙන එන්නෙ. සිනමාව තුළ මේ විදිහට අභිසාරිකාවක් වුණ අත්දැකීම ගැන පබෝදා පුවත්පතක් සමඟ සාකච්ජා කර තිබුණා.

ගණිකාවකගේ චරිතය තේමා කරගෙන චිත්‍රපටයකින් ආරාධනා ලැබෙනකොට මොකද හිතුණෙ ?

ගණිකාවක් කියන්නෙ සමජයේ ආන්දෝලනාත්මක චරිතයක්. හැම කෙල්ලෙක්ම කැමතියි හොඳ තත්ත්වයක් පිළිගැනීමක් උසස් රැකියාවක් කරන්න. හැබැයි සමහර කෙල්ලො අවුරුදු 16 – 18 වයස්වලදි ගණිකාවො වෙනවා. ඇයි එහෙම ගණිකාවො වෙන්නෙ කියලා හොයලා බැලුවොත් ගණිකාවක් වුණ හැම කෙල්ලෙක් පිටුපසම ලොකු කතාවක් තියනවා. ගණිකාවක් වෙලා ගෙනියන ජීවිතයටත් සුන්දර හෝ අසුන්දර කතාවක් තියනවා. ඉතින් චින්තන ධර්මදාසගේ අභිසාරී චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට කියන ගණිකාවගේ චරිතයෙන් මට ආරාධනා ලැබුණහම මට තේරුණා මගේ රංගන හැකියාවෙන් මේ තාක් රඟපාපු නැති වෙනස් රංගන පරාසයකට ගිහින් ලොකු දෙයක් මේ චිත්‍රපටයේදි කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා මම අභිසාරී චිත්‍රපටයේ ඉන්දු වෙන්න තීරණය කළා.

ගණිකාවක් විදිහට රඟපාන්න අවදානමක් තිබුණෙ නැද්ද ?

ගණිකාවක් විදිහට රඟපෑමෙදි මම කිසිම අවදානමක් ගැන සැලකුවෙ නැහැ. මම වෘත්තියෙන් නිළියක්. සමාජයේ ජීවත්වෙන හෝ මනඃකල්පිත චරිත රඟපාන එකයි මගේ වෘත්තිය. මගේ අම්මත් රංගන ජීවිතය ගැන අවබෝධය තියන රංගන ශිල්පිනියක්. මගේ දරුවත් මම රංගන ශිල්පිනියක් කියලා දන්නවා. ඉතින් ඒ නිසා මම සිනමාවේ ගණිකාවකගේ චරිතයක් රඟපෑම ගැන පෞද්ගලික ජීවිතයට සම්බන්ධවෙලා ඉන්න අයගෙන් මට බලපෑමක් එල්ලවුණේ නැහැ⁣. රංගනය මගේ වෘත්තිය නිසා ප්‍රේක්ෂකයො මොනවා කියයිද කියන දේ ගැනවත් සැලකිල්ලට ගන්නෙ නැතුවයි මම අභිසාරී ගණිකාවකගේ චරිතය රඟපෑවෙ.

සමාජය තුළ ගණිකාව ගැන යහපත් අදහස් නැහැ⁣…

ඔව්. ගණිකාව කරන්නෙ මුදලට ඇඟ විකිණීම. හැබැයි ඒ හරහා සමාජයට වෙන්නෙ සේවයක්. කෑමබීම, ඇඳුම් පැලඳුම්, නිවාස සහ ලිංගිකත්වය මනුස්සයන්ගේ ජීවිතයට අවශ්‍ය දේවල්. ප්‍රශ්න සහ වගකීම් විතරක් පිරුණු ජීවිතවලට යම් මානසික හා කායික සතුටක් ලැබෙන්නෙ ලිංගික පහසෙන්. ඉතින් අපේ ජීවිතයට ලිංගික පහසක් කොහෙන්වත් ලැබෙන්නෙ නැත්තන් මුදලට ඒ සේවාව ලබාදීලා පාරිභෝගිකයව තෘප්තිමත් කිරීම ගණිකාව කරන්නෙ. සමාජය වියවුල් තත්ත්වයට පත්වෙන්නෙ නැතුව අසහනය සහ පීඩනය අඩු කරලා සමාජය යහපත් විදිහට කළමනාකාරණය කිරීමක් ගණිකාව හරහා සිද්ධවෙන්නෙ. ඒ නිසා ගණිකා වෘත්තිය නරක දෙයක් විදිහටවත් පිළිකුල් සහගත දෙයක් විදිහට හඳුන්වනවාට වඩා සමාජයේ අනෙක් පිළිගත් වෘත්තීන් විදිහටම ගණිකා වෘත්තිය පිළිගත් වෘත්තියක් විදිහට හැඳින්වීම කළයුතුයි කියලයි මගේ අදහස.

ගණිකාවන්ට පැවැත්මක් තියෙන්න ඕන කියලද පබෝදා කියන්නෙ ?

ඔව්. ගණිකාව කරන්නෙ වියවුල් සමාජයේ පීඩනය අඩු කරලා සමාජය සංසුන්ව කළමනාකාරණය කිරීම. ඉතින් ගණිකාවට පැවැත්මක් තිබිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ගණිකා වෘත්තිය කරගෙන යාමට අවශ්‍ය නීති සංශෝධනය කරලා පිරිසුදුව පවත්වගෙන යාමට සනීපාරක්ෂක වැඩපිළිවෙළක් සැකසීම ගණිකා වෘත්තියෙ පැවැත්ම සඳහා සිදුවිය යුතුයි කියලා මම හිතනවා.

ගණිකා වෘත්තිය නීතිගත කරලා තව පුළුල් කළොත් පවුල් ජීවිත බේරගන්න බැරිවෙයි කියන සමාජය දරන අදහස ගැන මොකද හිතන්නෙ ?

ගණිකා වෘත්තිය නීතිගත කිරීම තුළින් වෙන්නෙ ගණිකා වෘත්තිය කරගෙන යාමට අවසරය ගැන කොළයක ලියවෙන එකනෙ. අවසර කොළයක ලියවුණේ නැති වුණත් බුද්ධ කාලෙ ඉඳලා අදටත් අඛණ්ඩව ගණිකා වෘත්තිය පැවත එනවනෙ. ගණිකා වෘත්තිය තිබුණයි කියලා මේ තාක් විශේෂයෙන් පවුල්වලට හානිවෙලා නැහැ⁣. පිරිමියෙක් ගණිකාවක් ඇසුරුකරපු පලියට පිරිමියා ගණිකාවව ගෙදර ගෙනිහින් පවුලට සම්බන්ධ කරගන්න උත්සාහ කරන්නෙ නැහැ⁣නෙ. ඔන්න ගෙදර ගෙනියන්න උත්සාහ කරනවානම් එතන තියෙන්නෙ පෙම්වතිය හෝ බිරිඳ එක්ක පවතින සම්බන්ධයේ ගැටලුවක්. ඒ ගැන ඇතුළුව ගොඩක් දේවල් ගැන අභිසාරී චිත්‍රපටයෙන් අපි ප්‍රේක්ෂකයන්ට කියනවා.

සමාජය ගණිකාව විතරක් නරක ගැහැනිය කරලා ගණිකාව ඇසුරු කරන පිරිමියව සුද්දවන්තයො කරන්නෙ ඇයි ?

ඒකට හේතුව ලංකාවෙ මිනිස්සු හිතන පතන විදිහ සහ අධ්‍යාපන ක්‍රමවේදය. ගණිකා වෘත්තියෙ යෙදෙන ගණිකාව වැරදිත් නැහැ⁣. ගණිකාව ඇසුරු කරන පිරිමි වැරදිත් නැහැ⁣. ගණිකා වෘත්තිය අමුතු ජරා දෙයක් කියලා හිතාගෙන සදාචාරමය තත්ත්වය බේරගන්න තමයි ගණිකා වෘත්තිය කරන කාන්තාවටම සමාජය සම්පූර්ණ වැරැද්ද පටවලා තියෙන්නෙ. මේ නිසා ගණිකා වෘත්තිය කරන කාන්තාවො තමන් කවුද කියලා සමාජයෙන් හංගගෙනයි මේ වෘත්තිය කරන්නෙ. වෘත්තියෙන් ගණිකාවක් වුණාට ඒ කාන්තාවන්ටත් අපි හැමෝටම වගේ සාමාන්‍යය ජීවිතයක් උරුමයි.

ගණිකාවකගේ කතාව පබෝදට සිනමාවෙන් ප්‍රේක්ෂකයන්ට කියන්න ලැබුණ අත්දැකීම කොහොමද දැනෙන්නෙ ?

මෑතක් වෙනතුරුම ලංකාවේ සිනමාව ඒකාකාරි විදිහට ගලාගෙන ගියෙ. ඒ අතරින් අභිසාරී ගණිකාව ගැන, ගැහැනු පිරිමි ආදර සම්බන්ධතාවල ඇතිවන real තත්ත්වය ගැන, tansgender, විකෘති කාම ආශා පුද්ගලයො ඇතුළු සම්මත අසම්මත භාවයේ රසවත් සහ අසුන්දර තැන් ගැන කියන චිත්‍රපටයක් විදිහට ප්‍රේක්ෂකයො අතරට එනවා. සමජයේ ආන්දෝලනාත්මක චරිතයකින් ප්‍රේක්ෂකයො අතරට එන අතරෙ ප්‍රේක්ෂකයා වියදම් කරන මුදලට වටිනාකමක් දෙන, රසවින්දනයට අර්ථයක් දෙන අභිසාරී චිත්‍රපටයට සම්බන්ධවීම ගැන මට ගොඩක් සතුටුයි.

පබෝදා අභිසාරී චිත්‍රපටයේදි තොල් සිපගැනීමේ දර්ශනයකට සම්බන්ධවෙලා තියනවා…

ඔව්. කලින් කිව්වා වගේ මම වෘත්තීය රංගන ශිල්පිනියක්. මම කැමතියි රංගන වෘත්තිය ඇතුළෙ සීමා බිඳගෙන වෙනස් වෙනස් රංග පරාසවලට යන්න. ඉතින් වෘත්තීය රංගන ශිල්පිනියක් විදිහට මම අභිසාරී චිත්‍රපටයේදි තොල් සිපගැනීමේ දර්ශනයක රඟපෑවා. රංගන ශිල්පිනියක් විදිහට මට ඒක සාමාන්‍ය දෙයක් විදිහටයි දැනුණෙ.

සැබෑ ජීවිතයේ පබෝදට ගණිකාවන්ව මුණගැහිලා තියනවද ?

ඔව්. අභිසාරී චිත්‍රපටය නරඹපු ගණිකාවො මට හම්බ වුණා. අපිට සාමාන්‍යයෙන් පන්සල්වල, පල්ලිවල, වෙළෙඳපොලේදි, මගතොටේදි හම්බවෙන කාන්තාවො වගේ ඔවුනුත් බොහොම සාමාන්‍ය කාන්තාවො. අභිසාරි නරඹපු ඔවුන් කිව්වෙ මම සිනමාව හරහා මේ ඉදිරිපත් කරලා තියෙන්නෙ ඔවුන්ගේ කතාව කියලා. දුක් ගැහැට විඳගෙන ඔවුන් ගණිකා වෘත්තිය කරන විදිහ ගැනත් ඒ හරහා උපයන මුදල්වලින් ඔවුන්ගේ දෙමව්පියො සහ දරු පවුල් නඩත්තු කරන විදිහ ගැන මට කිව්වා. එවැනි අපහාස, කරදර විඳගෙන ගණිකා වෘත්තිය හරහා රක්ෂාවෙන කාන්තාවො ගැන අභිසාරි හරහා කියන්න ලැබීම ගැන රංගන ශිල්පිනියක් විදිහට මම ආඩම්බර වෙනවා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: