hit counter

2026 ඔක්‍තෝබර් මස 05 වන සඳුදා

2026 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:06



මෙරට නීති විරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින්, අඩු මිලට ප්‍රමිතියෙන් යුතු මත්පැන් නිෂ්පාදනය කර ලබා දිය හැකි නිෂ්පාදකයෙකු ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳව සලකා බැලීමට සූදානම් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න මහතා පවසයි.

මත්පැන් සඳහා අයකරන සුරාබදු එලෙසම අය කළ යුතු වුවද, සුරාබදු ගෙවමින් අඩු මිලට මත්පැන් ලබා දීමට යම් නිෂ්පාදකයෙකු ඉදිරිපත් වන්නේ නම්, ඔවුන්ට මත්පැන් නිෂ්පාදනය සඳහා අනුමැතිය ලබාදීමට සලකා බැලිය හැකි බවත්, කෙසේ වෙතත් මේ වන තෙක් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බවත් ඒ මහතා දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

බදු ඉලක්ක සපිරීමේ සාර්ථක ප්‍රගතියක්
මුදල් අමාත්‍යාංශය විසින් මෙවසර සඳහා රුපියල් බිලියන 245 ක බදු ඉලක්කයක් ලබා දී ඇති අතර, සැප්තැම්බර් 30 වන විට ඉන් රුපියල් බිලියන 207 ක් උපයා ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත්ව තිබේ. මෙය පසුගිය වසරට සාපේක්ෂව සියයට 116.5 ක වර්ධනයකි.

වසර අවසන් වන විට නියමිත බදු ඉලක්කය ඉක්මවා යාමේ හැකියාවක් පවතින අතර, 2025 වසරේදීද ලබා දී තිබූ බදු ඉලක්ක පසුකර යාමට දෙපාර්තමේන්තුව සමත් වූ බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

මෙරට බීඩි නිෂ්පාදනය තුළින් දැනට ලැබෙන්නේ රුපියල් බිලියන 02 ක හෝ 03 ක පමණ මුදලක් වුවද, එම මුදල සත්‍ය ලෙස ගණනය කළහොත් රුපියල් බිලියන 09 ක හෝ 10 ක පමණ අගයක් ගන්නා බව විමර්ශනවලදී පෙනී ගොස් ඇත. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව මගින් ගනුදෙනු කිරීමට නව බිල්පතක් හඳුන්වා දී තිබෙන අතර, එම බිල්පතෙන් හැර වෙනත් ආකාරයකින් ගනුදෙනු කිරීමට නොහැකි වන සේ නීතිමය පියවර ගෙන තිබේ. එම නිසා අදාළ බිල්පත් පමණක් භාවිතා කර ගනුදෙනු කරන ලෙස හෙතෙම බීඩි නිෂ්පාදකයින්ගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම, ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් හසුපත්වීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙමින් පවතින අතර, ඊට සම්බන්ධ වන තැනැත්තන් මොන තරාතිරමක සිටියද ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: