hit counter

2026 ඔක්‍තෝබර් මස 06 වන අඟහරුවාදා

2026 ඔක්‍තෝබර් 06, ප.ව. 4:09



මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යාමට හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.

අද (06) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ඉදිරි මාස තුන තුළ විශාල ගැටලුවක් ඇති නොවන්නේ නම් වත්මන් ඉන්ධන මිල සහ සැපයුම් තත්ත්වය පවත්වාගෙන යාමේ හැකියාව පවතින බවයි.

වෙනත් ඉන්ධන සමාගම් විසින් ඉන්ධන නිකුත් කිරීම අඩු කිරීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවද ඔහු පැවසීය.

එවැනි තත්ත්වයක් ඇතිවිය හැකි ප්‍රදේශ 62ක් පමණ මීට සති තුනකට පෙර හඳුනාගෙන ඇති බවත්, එම ප්‍රදේශවලට වැඩි ඉන්ධන ප්‍රමාණයක් නිකුත් කිරීමට අදාළ සමාගම් සමඟ එකඟතාවකට පැමිණ ඇති බවත් ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව, රට තුළ ඉන්ධන සම්බන්ධයෙන් විශාල ගැටලුවක් ඇතිවීමට හේතුවක් නොමැති බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම, ඉන්ධන හිඟයක් පිළිබඳව අනවශ්‍ය ලෙස කලබල වී පිරවුම්හල්වල පෝලිම්වල රැඳී නොසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඩී.ජේ. රාජකරුණා මහතා පැවසීය.

වෙනත් සමාගම්වල පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් හෝ පෝලිම් පවතින්නේ නම්, ආසන්නතම ඛනිජ තෙල් සංස්ථාවේ පිරවුම්හල වෙත යන ලෙසද ඔහු ජනතාවට දැනුම් දුන්නේය.

මේ අතර, ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන සංචිත සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත්, ඉන්ධන තොග සම්බන්ධයෙන් සෑම සතියකම අඟහරුවාදා සමාලෝචනයක් සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.

එම සමාලෝචනයේදී තවත් ඉන්ධන නෞකා දෙකක් කඩිනමින් ගෙන්වීමට කටයුතු කර ඇති බවත්, මෙම මාසයට අවශ්‍ය ප්‍රමාණයට අමතරව වැඩි ඉන්ධන ප්‍රමාණයක් ගෙන්වීමටද පියවර ගෙන ඇති බවත් ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: